ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමට අදාළව සබරගමුව පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් සඳහා විශේෂ එක්දින පුහුණු වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
ජනාධිපති අරමුදලේ සියලු කාර්යයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීමත් සමඟ ඊට ලැබෙන අයඳුම්පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර ඒ සමඟම පරිගණක මූලික කරගත් නව මාර්ගත ක්‍රමවේදය (Online System) පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අදාළ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම හා පුහුණු කිරීම අත්‍යවශ්‍ය බව හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන විෂය නිලධාරීන් දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරුණා.
සබරගමුව පළාතේ ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභීන් ප්‍රමාණය වැඩි කිරීම, ප්‍රතිලාභීන් වෙත ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීම, නවීකරණය වූ මාර්ගගත ක්‍රමවේද හදුන්වා දීම හා වඩාත් කඩිනම් සේවාවන් සැපයීම පිණිස අදාළ දැනුම හා පුහුණුව ලබා දීම මෙම වැඩසටහනේ අරමුණයි.
ජනාධිපති අරමුදලේ කාර්යභාරය පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ විසින් මෙහිදී පැමිණ සිටි පිරිස දැනුවත් කිරීම සිදු කළා.



