ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහි කිරීම අරමුණයි – ජනපති අනුර

සමාජ සාධාරණත්වය උදෙසා ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව තහවුරු කරමින්, ආර්ථික ක්‍රියාවලියට කාන්තාවන් තවදුරටත් සක්‍රීයව හා ඵලදායීව සහභාගී කරගැනීමේ සැලසුම් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අදට (08) දී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරනවා.

එමෙන්ම ඩිජිටල් හා හරිත ආර්ථිකයක් තුළ කාන්තා ව්‍යවසායකත්වය පුළුල් කර ඉදිරියේ දී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහි කිරීම රජයේ අරමුණ බවයි එම සුබපැතුම් පණිවුඩය මඟින් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ.

ජනාධිපතිවරයාගේ සුබපැතුම් පණිවුඩය පහතින්.

සියවසකට අධික කාලයක් මුළුල්ලේ ලොව පුරා සෑම වසරකම මාර්තු 08 වනදා ජාත්‍යන්තර කාන්තා දිනය සැමරේ. ශ්‍රී ලංකාව තුළ ආර්ථික, දේශපාලන, සමාජයීය සහ සංස්කෘතික වශයෙන් කාන්තාවගේ භූමිකාව සුවිශේෂීය. එකී සියලු ක්ෂේත්‍රයන්හි විශාල භාරයක් දරන කාන්තාවගේ එම භූමිකාව අගයමින් කාන්තා අයිතිවාසිකම්, නිදහස සහ සුරක්ෂාව පිළිබඳව මෙදින විශේෂයෙන් සිහිපත් කළද, එය එක් දිනකට සීමා කළ නොහැකි බව අපි විශ්වාස කරමු.
මෙරට ජනගහණයෙන් 52%ක් නියෝජනය කරන කාන්තා පරපුර අද රටේ ආර්ථිකය තුළ විශාල පංගුවක් නියෝජනය කරන බව නොරහසකි. වැටුප් නොලබා ගෘහණියක ලෙස ඇය ඉටු කරන භූමිකාවට අමතරව, ඇඟලුම් කර්මාන්තය, වතු කර්මාන්තය, විදේශ රැකියා ක්ෂේත්‍රය තුළත්, සෞඛ්‍ය, අධ්‍යාපන සහ සේවා අංශවලත් කාන්තාවෝ විශාල දායකත්වයක් ලබා දෙති. පසුගිය 2025 වසරේ අප රටක් ලෙස ලැබූ බොහෝ ආර්ථික ජයග්‍රහණයන්ට කාන්තා පරපුර විසින් ලබා දුන් එම ශක්තිය ඉවහල් වූ බවද මෙහිදී කෘතවේදීව සිහිපත් කළ යුතුය.
සමාජ සාධාරණත්වය උදෙසා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී සමානාත්මතාව තහවුරු කරමින්, ආර්ථික ක්‍රියාවලියට කාන්තාවන් තවදුරටත් සක්‍රීයව හා ඵලදායීව සහභාගී කර ගැනීමේ සැලසුම් අපි මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටිමු. සාධාරණ සමාජයක්, නිවහල් රටක් සහ නිදහස් ස්ත්‍රියක් යන අභිලාෂය සාක්ෂාත් කරගනිමින්, නිවසේදී, ප්‍රවාහනයේදී, ප්‍රජාව තුළ, වැඩබිමේදී සහ දේශපාලන වේදිකාවේදී කාන්තාවට සිදුවන සියලුම ආකාරයේ හිංසනයන්ට සහ වෙනස්කොට සැලකීම්වලට එරෙහිව ක්‍රියා කිරීමටත්, කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කර ප්‍රවර්ධනය කිරීමටත් අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට රජයක් ලෙස අපි ප්‍රමුඛත්වය ලබා දී ඇත්තෙමු.
පාර්ලිමේන්තු ඉතිහාසය වෙනස් කරමින්, වරකදී වැඩිම කාන්තා මන්ත්‍රීවරියන් සංඛ්‍යාව මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටියි. එසේම ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මලෛගම් ජනතාව නියෝජනය කරන කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක තේරී පත්වීම ද සුවිශේෂී ඉතිහාසගත සිදුවීමකි. මේ අයුරින් රට ආර්ථික, දේශපාලන සහ සමාජීය වශයෙන් නව පරිවර්තනයක් කරා ගෙන යාමට අප ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සමාන ලෙස උර දෙන, ශක්තිමත් සහ ගෞරවනීය කාන්තා පරපුරක් බිහිකිරීම අපගේ වගකීමත් අධිෂ්ඨානයත් බව මෙහිලා අවධාරණය කරමු. එමෙන්ම ඩිජිටල් හා හරිත ආර්ථිකයක් තුළ කාන්තා ව්‍යවසායකත්වය පුළුල් කර ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහි කිරීම අප රජයේ අරමුණයි.
එවන් පසුබිමක් තුළ ලාංකීය කාන්තාවන්ගේ අභිමානය සහ ශක්තිය ලොවට පෙන්වමින් ‘පොහොසත් රටක අබිමන – ඇය වේ දැයක පෙර මග’ තේමාව යටතේ මෙවර කාන්තා දිනය සංවිධානය කිරීම මම බෙහෙවින් අගයමි.
සියලුම අහිතකර උවදුරුවලින් සමාජයත්, රටත් මුදා ගනිමින් ආචාරධාර්මික සහ සහකම්පනයෙන් යුත් අනාගත පරපුරක් සහ දියුණු රටක් ගොඩනැඟීමට තිර අදිටනින් යුතුව අප යන ගමනේ පෙරගමන්කරුවන් ලෙස ශක්තිමත්ව අත්වැල් බැඳ ගන්නා ලෙස සමස්ත කාන්තා පරපුරට ආරාධනා කරමින් අර්ථවත් කාන්තා දින සැමරුමකට සුබපැතුම් එක් කරමි.
අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2026 මාර්තු 08 දින



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18