AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිවරණය සැප්තැම්බර් 21 – නාම යෝජනා කැඳවීම අගෝස්තු 15 සිට (නිවේදනය සහ වීඩියෝ)

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21 වැනි දා දින පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මීට සුළු වේලාවකට (26) පෙර අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව සැප්තැම්බර් මස 21 වැනි දා ජනාධිපතිවරණය පැවැත්වෙන අතර; ඊට අදාළ නාම යෝජනා භාර ගැනීම අගෝස්තු මස 15 වැනි දින සිට සිදු වනු ඇති.

මෙම ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම අද දින සිට සිදු කෙරෙන බව ද මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව අද සිට අගෝස්තු මස 14 දහවල් 12 තෙක් මෙම ඇප මුදල් තැන්පත් කළ හැකියි.

මෙම ඇප මුදල් තැන්පත් කිරීම මෙම ප්‍රකාශයට පත් කරන දින සහිත කාලවකවානුවේ සෙනසුරාදා හෝ ඉරිදා දිනයන් ඇතුළත් නොවිය යුතු ද වනවා.

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ පනතේ බලතල ප්‍රකාරවයි මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබුවේ.

කොළඹ, ගාලු මුවදොර පිටියේ ක්‍රියාත්මක වූ ‘ගෝඨාගෝගම’ විරෝධතා භූමිය කේන්ද්‍ර කරගත් විශාල ජනතා අරගලයක ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ 07 වැනි විධායක ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ ජූලි 14 දින සිය ධුරයෙන් ඉල්ලා අස් වුණා.

එහි ප්‍රතිඵලයක් ලෙසටයි අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් හිටපු අග්‍රමාත්‍යා රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් කෙරුණේ.

ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හෝ වෙනත් හේතුවක් මත ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇති වූ අවස්ථාවක අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් තිබෙනවා.

ඊට අනුකූලවයි රනිල් වික්‍රමසිංහ ව එම තනතුර සඳහා තෝරා ගැනුණේ.

2019 නොවැම්බර් මස පැවැති ජනාධිපතිවරණයෙන් මිලියන 6.9ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග වැදුණු ගෝඨාභය රාජපක්ෂ මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුණු අතර 2019 නොවැම්බර් 18 දින ජනාධිපති ධුරයේ වැඩ භාර ගත්තා.

2015 දී හඳුන්වා දුන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ඒ වන විට ජනාධිපතිවරයාගේ බලතල යම් තරමකට සීමා වී තිබුණ ද; 2020 අගෝස්තු මස පැවති මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 2/3 බහුතර බලයක් හිමි වීම, සහ එම වසරේ ම ඔක්තෝබර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීම සමග ජනාධිපතිවරයාගේ විධායක බලතල සැලකිය යුතු ලෙස වැඩිවීම ද එදවස දේශපාලන ලෝකයේ වැඩි වශයෙන් කතාබහට ලක් වූ කාරණා අතර ද වුණා.

නමුත් මෙවන් පසුබිමක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් ජන අරගලයකට මුල පිරුණු අතර 2020 වසරේ මුල් භාගයේ දී මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට බදු සහන ලබා දීම සහ 2021 වසරේ දී රසායනික පොහොර සහ පළිබෝධනාශක ආනයනය තහනම් කිරීම, රසායනික පොහොර සහ පළිබෝධනාශක භාවිතයෙන් සිදු කළ ගොවිතැන වෙනුවට කාබනික ගොවිතැනට මාරු වීමට ගොවීන්ට එක්වරම නියෝග කිරීම ඇතුළු තවත් තීරණ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි ජනතා විරෝධයක් ඇති වන්නට පටන් ගත්තා.

අසීමිත ලෙස මුදල් මුද්‍රණය කිරීම සහ නිසි මූල්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් අනුගමනය නොකිරීම වැනි හේතු මත 2021 වසරේ මැද භාගය වන විට ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය විශාල ලෙස ඉහළ ගිය අතර ඒ හේතුවෙන් භාණ්ඩවල මිල සහ සේවා සඳහා අය කරන ගාස්තු ද ඉතා විශාල අගයන්ගෙන් ඉහළ ගියේ ජනතාව දැඩි අපහසුතාවකට පත් කරමින්.

රට තුළ පැවති විදෙස් මුදල් සංචිත, විශේෂයෙන් ම අමෙරිකා එක්සත් ජනපද ඩොලර් සංචිත පහළ බැසීම හේතුවෙන් ගෑස්, කිරිපිටි, ඖෂධ, ඉන්ධන සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් ද මෙරට තුළ උද්ගත වීම ගෝඨාගෝ ගම අරගලය නිර්මාණය වීමට හේතු වුණා.

එවන් පසුබිමකයි ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව තුළ දැඩි අප්‍රසාදයක් ඇතිවෙමින් රට පුරා විරෝධතා රැල්ලක් ආරම්භ වූයේ.

ඊට සමගාමී ව 2022 මාර්තු 31 දින මිරිහාන ප්‍රදේශයේ පිහිටි ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවස ඉදිරිපිට විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධතාවයක් පැවැත්වුණු අතර අනතුරු ව පසුගිය 2022 අප්‍රේල් 9 දා ගාලුමුවදොර පිටියේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස් වූ දහස් සංඛ්‍යාත ජනතාව ජනාධිපතිවරයාට විරුද්ධව දැවැන්ත විරෝධතාවක් ඇරඹූයේ ගෝඨා ගෝ හෝම් යනුවෙන්.

මෙවන් තත්ත්වයක් මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 13 වැනි දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගියා.

ජුලි 14 වැනි දින ඔහු මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත් ව ගොස් තිබු අතර එදින පස්වරුවේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යොමු කෙරුණු බවයි නිල වශයෙන් නිවේදනය කෙරුණේ.

කතානායකවරයා ඒ පිළිබඳ ව සිය නිල නිවේදනය ඉදිරිපත් කරමින් ජුලි 15 වැනි දින සඳහන් කළේ පුරප්පාඩු වී ඇති ජනාධිපති ධුරය සඳහා සුදුසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත් කරගන්නා තෙක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇති බව යි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ අගවිනිසුරුවරයා ඉදිරියේ වැඩබලන ජනාධිපති ධුරයේ එදින පස්වරුවේ දී දිවුරුම් දෙනු ලැබුවා.

පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවට දැනුම් දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිදු කළ යුත්තක්.

ඒ අනුව ජනාධිපති ධුරය හිස් වූ අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි ව්‍යවස්ථාව මගින් දක්වා ඇති පරිදි, ධුරය හිස් වූ ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් ඉතිරි කාලය සඳහා පමණක් ධුරය දැරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තෝරා පත් කර ගැනීම පාර්ලිමේන්තුවට පැවරෙනු ඇති.

එම තෝරා පත් කර ගැනීම, 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ එන ප්‍රතිපාදන අනුගමනය කරමින් සිදු වනවා.

ඒ අනුව ප්‍රථමයෙන් ම ජනාධිපති ධුරයේ පුරප්පාඩුව ඇති වී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව රැස් විය යුතු අතර ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇති වී ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු වනවා.

මෙම නියමය අනුව ජුලි 16 වැනි දින පෙරවරු 10 ට පාර්ලිමේන්තුව රැස් වූ අතර, ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.

ඉන් පසුවයි ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවට දැනුම් දුන් දිනයේ සිට දින දෙකකට නොඅඩු සහ දින හතකට නොවැඩි දිනයක ජනාධිපති ධුරය සඳහා නාම යෝජනා භාර ගැනීම සඳහා දිනයක් නියම කළ යුතු වන්නේ.

ඒ අනුව පාර්ලිමේන්තු මහලේකම්වරයා ජුලි 16 දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ජුලි 19 දින ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් නාමයෝජනා භාරගන්නා බව යි.

ජනාධිපති ධුරය සඳහා වන නාමයෝජනා භාරගැනීම 2022 ජූලි මස 19 දින සිට සිදු කෙරුණේ එවන් පසුබිමකදියි.

එහිදී ජනාධිපති ධුරයට නම් තුනක් යෝජනා කෙරුණු අතර; එකී නම් අතර ඩලස් අලහප්පෙරුම, රනිල් වික්‍රමසිංහ හා අනුර කුමාර දිසානායක ඇතුළත් වුණා.

නාමයෝජනා භාරගන්නා දිනයේ දී පාර්ලිමේන්තුව රැස් විය යුතු අතර පාර්ලිමේන්තු මහලේකම්වරයා තේරීම්භාර නිලධාරියා වශයෙන් කටයුතු කළ යුතු වනවා.

ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නමක් යෝජනා කිරීමට අපේක්ෂා කරන සෑම මන්ත්‍රීවරයෙක් ම අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් තිබෙනවා.

ඔවුන් යෝජනා කිරීමට නියමිත මන්ත්‍රීවරයා/ වරිය ජනාධිපති වශයෙන් තෝරා පත්කර ගතහොත් ඔවුන් එම ධුරයේ කටයුතු කිරීමට කැමති බවට ලිඛිත එකඟතාවක් ලබා ගත යුතු වනු ඇති.

අපේක්ෂකත්වයට යෝජනා වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නාමයෝජනා භාර ගන්නා දිනයේ දී පාර්ලිමේන්තුවට පැමිණීම ද අනිවාර්යය කාරණයක්.

ජනාධිපති ධුරය සඳහා එක් මන්ත්‍රීවරයෙක්/ වරියක් පමණක් යෝජනා වී, ඔහුගේ හෝ ඇයගේ නම ස්ථිර වූයේ නම් පාර්ලිමේන්තු මහලේකම්වරයා, අදාළ මන්ත්‍රීවරයා/ වරිය ජනාධිපති ධුරය සඳහා තෝරා පත් කර ගත් බව ප්‍රකාශයට පත් කළ යුතු ය.

එක් අයකුට වඩා වැඩි මන්ත්‍රීවරුන් ගණනකගේ නම් ජනාධිපති ධුරය සඳහා යෝජනා කර, ස්ථිර කර ඇති අවස්ථාවක ඒ සඳහා ඡන්ද විමසීමක් සිදු කළ යුතු ය.

ඒ සඳහා දිනයක් සහ වේලාවක් වෙන් කිරීම පාර්ලිමේන්තුවට පැවරෙන අතර එම දිනය නාමයෝජනා භාරගත් දින සිට දින දෙකකට පසුව එන දිනයක් නොවීම ද වැදගත්.

ඒ අනුව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම 2022 ජූලි 20 පෙරවරු 10 සිට පැවැත්වෙන බවට වන යෝජනාව සභා නායක දිනේෂ් ගුණවර්ධන සභාවට දැනුම්දුන්නා.

ඡන්ද විමසීම සඳහා නියම කරන දින පාර්ලිමේන්තු මහලේකම්වරයා තේරීම්භාර නිලධාරියා වශයෙන් ක්‍රියා කළ යුතුය.

ඡන්ද විමසීම ආරම්භ වීමට පෙර ඔහු හිස් ඡන්ද පෙට්ටිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෙන්වා එයට මුද්‍රා තැබිය යුතු අතර ඡන්ද විමසීම ආරම්භ වීමෙන් පසු මහලේකම්වරයා, කතානායකවරයා ඇතුළු එක් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් හඬ නගා කියවීම සිදු කරනවා.

මන්ත්‍රීවරුන්, තමන්ගේ නම කියැවෙන අවස්ථාවේ තේරීම්භාර නිලධාරියා වෙත ගොස් ඡන්ද පත්‍රිකාවක සිය ඡන්දය සලකුණු කර එය ඡන්ද පෙට්ටියට දැමිය යුතු යි.

පළමු වර නම් කියවන අවස්ථාවේ ඡන්දය ප්‍රකාශ නොකළ මන්ත්‍රීවරුන්ගේ නම් නැවත වරක් කියවන අතර, ඒ අවස්ථාවේ ද ඡන්දය ප්‍රකාශ නොකරන මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටි මන්ත්‍රීවරුන් ලෙස සැලැකේ.

අපේක්ෂකයන් කිහිප දෙනෙක් ඉදිරිපත් වී ඇති අවස්ථාවක මනාප ලකුණු කිරීමට ද මන්ත්‍රීවරුන්ට හැකියාව තිබෙනවා.

ඡන්ද ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඡන්ද ගණන් කිරීම සිදු වනවා.

ඡන්ද ගණන් කරන ස්ථානයට යම් අපේක්ෂකයකුට පැමිණීමට අවශ්‍ය නම් ඔහුට හෝ ඇයට ඒ සඳහා අවස්ථාව හිමි වනු ඇති.

තමන් වෙනුවට වෙනත් මන්ත්‍රීවරයෙක් එම ස්ථානයට යැවීමට ද අපේක්ෂකයන්ට හැකියාව ද ව්‍යවස්ථාවෙන් හිමිගන්වා තිබෙනවා.

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් යම් අපේක්ෂකයෙක් ලබාගෙන තිබේ නම් එම අපේක්ෂකයා ජනාධිපති ධුරයට තෝරාපත් කරගත් බව තේරීම්භාර නිලධාරියා වන පාර්ලිමේන්තු මහලේකම්වරයා ප්‍රකාශයට පත් කළ යුතු වනවා.

ඒ ආකාරයෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද ප්‍රමාණයක් කිසිදු අපේක්ෂයෙක් ලබාගෙන නොමැති අවස්ථාවක මනාප ඡන්ද ගණන් කිරීම සිදු වනු ඇති.

මේ ආකාරයෙන් ගණනය කිරීම සිදු කර වැඩි ම ඡන්ද ලබා ගෙන ඇති අපේක්ෂකයා ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගනී.

අපේක්ෂකයන් දෙදෙනෙක් හෝ කිහිප දෙනෙක් එක සමාන ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන ඇති අවස්ථාවක කුසපත් ඇදීමක් මගින් ජයග්‍රාහකයා තෝරා ගැනෙනවා.

එවන් පසුබිමකයි රනිල් වික්‍රමසිංහ ව ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලයේ බහුතර මනාපයෙන් ගෝඨාභය රාජපක්ෂගෙන් හිස් වූ ජනාධිපති ධුරයට පත් වන්නේ.

ඒ ගෝඨාභයගෙන් හිස් වූ වසර දෙකහමාරක ධුර කාලයේ කටයුතු සිදු කිරීම සඳහා පමණි.

මෙවන් පසුබිමකදියි 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමට අදාළ අතිවිශේෂ ගැසට්‍ නිවේදනය අද උදෑසන මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබුවේ.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හට ද තව එක් වරක් ජනාධිපති ධුරය සඳහා ව්‍යවස්ථාවට අනුව තරග කළ හැකි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?