ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉල්ලීමට ප්‍රමාද වූ, එසේම ප්‍රමාණවත් නොවන බව පෙනෙන ප්‍රතිචාරයක් ලබා දුන් චීනය, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන වෙනුවෙන් උදව් කිරීමේ මුවාවෙන්, මේ වන විට දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමකට (FTA) අත්සන් කරන ලෙස ශ්‍රී ලංකාවට බලපෑම් කරන බව පෙනෙන්නට තිබේ.
චීනය සහ ශ්‍රී ලංකාව අතර වන නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා වූ සාකච්ඡා 2014 තරම් ඈත කාලයකදී චීන ජනාධිපති ෂී ජින්පින් සහ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් දියත් කරන ලදී.
දෙපාර්ශවයම දිගින් දිගටම ඒ සඳහා සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වීය.
අවසන් වරට චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ ස්කච්ඡාවල පස්වන වටය කොළඹදී පැවැත්වුණු අතර එහිදී භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම, ආයෝජන, ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව, සම්භවය පිළිබඳ රීතිය, රේගු ක්‍රියා පටිපාටි සහ වෙළඳ පහසුකම් සැලසීම, තාක්ෂණික බාධක යන කරුණු පිළිබඳව දෙපාර්ශවය අදහස් හුවමාරු කර ගත්තේය.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වාදෙන ආකාරයට, ශ්‍රී ලංකාවට මෙහි ඇති ප්‍රධානතම අවාසිය නම්, චීන භාණ්ඩ ආනයනයේදී ශ්‍රී ලංකාවට ආදායම් ලැබෙන ආනයන බද්ද වැනි තීරුබදු භාවිතය සීමාවීමයි.
විශේෂයෙන් චීන භාණ්ඩ මෙරට වෙළඳපොළට විශාල වශයෙන් පැමිණෙන වාතාවරණයක් තුළ නිදහස් වෙළඳ ගිවිසුමක් හරහා දැවැන්ත බදු ආදායමක් රටට අහිමි වීමේ අවදානමක් පවතී.
2009 වසරේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු, දැවැන්ත වරායක්, ගුවන් තොටුපළක්, අධිවේගී මාර්ග සහ තවත් වැදගත් යැයි සැළකු ව්‍යාපෘති ඇතුළු විවිධ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් චීනය ශ්‍රී ලංකාවට විශාල ලෙස ණය ලබා දී ඇත.
අද වන විට චීනය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ණයහිමියා බවට පත්ව ඇත්තේ එබැවිනි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය නිර්දේශයන්ට අනුව. කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය කරවා ගතයුතු ශ්‍රී ලංකාවේ ණය තොගයෙන් 52%ක්ම, එනම් එක්සත් ජනපද ඩොලර් බිලියන 07 ඉක්මවූ ප්‍රමාණයක්ම හිමිව ඇත්තේ චීනයටයි.
මේ නිසා විවිධ කොන්දේසි පනවමින් ශ්‍රී ලංකාව වෙතින් ලබාගත හැකි උපරිමය ලබාගැනීමට මෙය චීනයට විශාල අවස්ථාවක් බවට පත්ව ඇති බව දැකගත හැකිය.
චීනයේ මූල්‍ය ආධාරවල ස්වභාවය සහ එහි ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ප්‍රයත්නයන් පිටුපස ඇති මෙම අභිප්‍රේරණ පිළිබඳව දේශීයව මෙන්ම අන්තර්ජාතික පාර්ශව අතර ද කනස්සල්ල මතු වී තිබේ.
විවේචකයන් පෙන්වා දෙන්නේ, චීනයේ උපාය මාර්ගික ‘තීරය සහ මාර්ග මුලපිරීම’ (BRI) වැඩසටහනේදී ශ්‍රී ලංකාව ප්‍රධාන ස්ථානයක පවතින බැවින්, චීනයේ මූල්‍ය ආධාර කලාපය තුළ එහි ආර්ථික හා දේශපාලන බලපෑම ව්‍යාප්ත කිරීමේ පුළුල් උපාය මාර්ගයක කොටසක් ලෙස ශ්‍රී ලංකාව භාවිතයට ගැනෙමින් පවතින බවයි.
චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මගින් චීන ව්‍යාපාර සඳහා නව වෙළෙඳපොළ විවෘත කරනු ඇති අතර, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලට චීනයේ වෙළෙඳපොළ වෙත යම් ප්‍රවේශය ලබාදෙනු ඇත.
කෙසේ වෙතත්, විවේචකයන් තර්ක කරන්නේ මෙම ගනුදෙනුව චීනයට පක්ෂව විශාල විකෘතියක් ලෙස ක්‍රියාත්මක වනු ඇති බවයි.
එසේම ලාභ චීන භාණ්ඩ ශ්‍රී ලංකාව තුළට ගලා ඒම වැලැක්විය නොහැකි බවත් රටේ දේශීය කර්මාන්ත අඩපණ කරන බවත් ඔවුහු පෙන්වාදෙති.
එපමණක් නොව, මෙවැනි වෙළඳ ගිවිසුමක් සඳහා තල්ලු කිරීමට චීනය උත්සාහ දරන්නේ, ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි බලපෑමක් එල්ල කිරීමේ පුළුල් උපාය මාර්ගයක කොටසක් අනුව විය හැකි බවද සමහර විශේෂඥයෝ පෙන්වාදෙති.
කලාපය තුළ චීනයේ ආර්ථික හා දේශපාලන බලපෑම ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන චීනයේ තීරය සහ මාර්ග වැඩසටහනේ (BRI) අත්‍යවශ්‍ය අංගයක් බවට පත්කර ඇති ශ්‍රී ලංකාව, ඉන්දියන් සාගරයේ වැදගත් උපායමාර්ගික ස්ථානයක් හිමිකර ගෙන ඇත.
මේ නිසා නිදහස් වෙළඳ ගිවිසුම සඳහා වන චීන තල්ලුව ශ්‍රී ලංකාවේ සමහර පාර්ශ්වවලින් විරුද්ධත්වයට ලක්ව ඇති අතර, විවේචකයන් අවධරණය කරන්නේ මෙම ගනුදෙනුව රටේ යහපතට හේතු නොවනු ඇති බවයි.
එසේම, ශ්‍රී ලංකාව චීනය මත වර්ධනය වන ආර්ථික යැපීම පිළිබඳ කනස්සල්ලට මුහුණ දී ඇති අතර, ඇතැම් පාර්ශව පෙන්වා දෙන්නේ, රට සිය ආර්ථික ස්වෛරීත්වයට තර්ජනයක් විය හැකි ණය උගුලකට වැටීමේ අවදානමක සිටින බවයි.
මෙම ගැටළු විසඳීම සඳහා, ශ්‍රී ලංකාව කලාපයේ අනෙකුත් රටවල් සමඟ ආර්ථික හවුල්කාරිත්වය සඳහා නව අවස්ථා ගවේෂණය කරමින් සිය ආර්ථික සබඳතා විවිධාංගීකරණය කිරීමට උත්සාහ කරමින් සිටින ආකාරය ද දැකගත හැකිය.
ශ්‍රී ලංකා රජය චීනය සමඟ සිය ණය ගිවිසුම් පිළිබඳව නැවත සාකච්ඡා කිරීමට උත්සාහ කරමින් සිටින අතර, ඇතැමුන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව චීන ණය මත යැපීම අඩු කිරීමට උත්සාහ කරන බවයි.
පෙරකී ලෙස, පසුගිය දශකය තුළ චීනය ශ්‍රී ලංකාවේ විශාලතම විදේශ ආයෝජකයා වූ අතර ශ්‍රී ලංකාවට දෙවන විශාලතම විදේශ ණයදෙන්නා විය.
සංඛ්‍යා ලේඛනවලට අනුව, 2021 දෙසැම්බර් මාසයෙන් අවසන් වූ මාස 24 තුළ, චීනය, ඉන්දියාව අභිබවා යමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආනයන සහකරු බවට පත්ව ඇත (2020 දී, ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඩොලර් බිලියන 3.01 ට සාපේක්ෂව චීනයෙන් ඩොලර් බිලියන 3.58 ක භාණ්ඩ හා සේවා ආනයනය කර ඇත).
එසේ වුවද, ශ්‍රී ලංකාව ඉන්දියාවට ඩොලර් මිලියන 654.44ක් වටිනා භාණ්ඩ හා සේවා අපනයනය කර ඇති අතර චීනයට අපනයනය කර ඇත්තේ ඩොලර් මිලියන 252ක වටිනාකමකින් යුතු භාණ්ඩ හා සේවා පමණකි.
ඒ අනුව සෑම මූල්‍ය පියවරකදීම සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ චීනය වැඩි වාසියක් අත්පත් කරගෙන සිටින බව පෙනෙන්නට තිබේ.
අවම තරමින් වත්මන් ආනයන අපනයන ක්‍රියාවලිය තුළ සියයට 10ක වත් භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් චීනයට නැව්ගත නොකරන ශ්‍රී ලංකාවට පැහැදිලිවම මෙවන් නිදහස් වෙළඳ ගිවිසුමකින් ලබාගත හැකි ප්‍රතිලාභයන් අල්ප බව අමුතුවෙන් කිවයුතු නැත.
එසේම රට තුළ පවතින ස්ථාවර නොවන දේශපාලන සහ ආර්ථික පරිසරය හමුවේ ණය වැඩසටහන් හරහා මිස, නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ නැංවීම හරහා ආර්ථිකය ස්ථාවර කිරීමේ උපාය මාර්ග දේශපාලකයන් විසින් අනුගමනය කරන්නේ නැත.
එමනිසා විශේෂයෙන් මෙරට අපනයන කේන්ද්‍රීය භාණ්ඩ නිෂ්පාදන වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළ නොහැක.
එමනිසා චීනයේ දැවැන්ත වෙළඳපොළට තීරුබදු සහන යටතේ නිෂ්පාදන වැඩිපුර අලෙවිකර ලාභ ලබාගැනීම ශ්‍රී ලංකාවට ‘ප්‍රයෝගික’ වන්නේ නැත.
ඒ වෙනුවට මෙවැනි නිදහස් වෙළඳ ගිවිසුමක් හරහා පැහැදිලිවම සිදුවිය හැක්කේ තීරුබදු සහන යටතේ ශ්‍රී ලංකාව තුළට බාධාවකින් තොරව ලාභ චීන භාණ්ඩ ගලා ඒමයි.
එමගින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්‍රියාවලිය තවදුරටත් බිඳවැටෙන අතර, මෙරට වෙළඳපොළ තත්ත්වයෙන් බාල චීන නිෂ්පාදන විසින් ආක්‍රමණය කිරීම වැළක්විය නොහැකි වනු ඇත.
කෙසේවෙතත් මෙලෙස හදිසියේ, වසර 08කට වැඩි කාලයක් ප්‍රමාදවූ නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට චීනය ශ්‍රී ලංකාවට බලපෑම් කරමින් සිටින්නේ කුමන හේතුවක් මතද යන කාරණය ශ්‍රී ලංකා බලධාරීන් පළමුවෙන් අවබෝධ කරගත යුතුව තිබේ.
නැතහොත්, හුදෙක් මේ මොහොතේ පවතින ණය අර්බුදයේදී චීනයේ සහාය කෙසේහෝ ලබාගැනීම වෙනුවෙන් මෙරට වෙළඳපොළ මුළුමනින්ම චීනයට විවෘත කරදීමෙන් සිදුවන්නේ, ගරාවැටී තිබෙන ආර්ථිකයට පණදීම සඳහා, ණය මත යැපෙන ආර්ථික උපාය මාර්ගයක් වෙනුවට අවශ්‍ය වන, රටේ නිෂ්පාදන ආර්ථිකය වර්ධනය කිරීමේ උපාය මාර්ගය තවත් පරම්පරා ගණනාවකට යටපත්ව යෑමය.