spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගීතා කුමාරසිංහත් ගෑස් පිපිරීමකට ලක්වෙයි

ගෑස් ආශ‍්‍රිතව සිදුවන අනතුරුවලට වගකිවයුත්තන් අනාවරණය කිරීම රජයේ වගකීමක් බවත්, මේ රටේ මහජනතාවට මෙන්ම කාන්තාවන්ට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට අවශ්‍ය වටපිටාව පවත්නා රජය විසින් නිර්මාණය කළ යුතු බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය ‘දිවයින’ට පැවසුවාය. කාලයෙන් කාලයට දේශපාලන වේදිකාවේ උණුසුම් පුවත් මවන්නන් අතර ඇය ද සුවිශේෂී චරිතයකි. ගෑස් සම්බන්ධයෙන් ඇති කතාබහ පිළිබඳව මෙන්ම වර්තමාන සමාජයේ කාන්තාව මුහුණ දෙන ගැටලූ පිළිබඳව ගීතා කුමාරසිංහ මහත්මිය මෙලෙසින් අදහස් දැක්වූවාය.

ප‍්‍රශ්නය :- මේ දවස්වල කාන්තාවන් වෙනුවෙන් හඬ නඟන පිරිස අතර ඔබතුමියත් ඉදිරියෙන්ම ඉන්නවා. මොකක්ද මේකට හේතුව?

පිළිතුර :- මම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කෙනෙක්. එහෙමයි කියලා ආණ්ඩු පක්ෂයේ සමහර පුද්ගලයන්ගේ වැරදිවලට කට පියාගෙන ඉන්න බෑ. මම ජනතාවගේ ඡන්දයෙන් පත් වුණු ජනතාව වෙනුවෙන් සේවය කළ යුතු නියෝජිතයෙක්. විශේෂම කාරණාව තමයි මම කාන්තාවක්. දේශපාලනය තුළ හෝ කලාව තුළ හෝ සාමාන්‍ය ජීවිතයේදී වුණත් කවුරුහරි කාන්තාවට අපහාස කරනවා නම්, ඔවුන් අපහසුතාවයට පත් කරනවා නම්, ගරහනවා නම් ඒ වෙනුවෙන් ඕනම අවස්ථාවක මම ඉදිරියට ඇවිදින් ඒ වගේ අකටයුතුකම්වලට විරුද්ධව කතා කරනවා. කාන්තාවක් විදියටවත්, දේශපාලනයේ නියුතු පුද්ගලයෙක් විදිහටවත් අසාධාරණකම් දැක දැක පිටිපස්සට වෙලා ඉන්න පුරුද්දක් මට නෑ.

ප‍්‍රශ්නය :- මේ රටේ කාන්තාවන්ට දැන් අලූත් ප‍්‍රශ්නෙකටත් උත්තර හොයන්න වෙලා නේද? හතර වටෙන් ඇහෙන ගෑස් අනතුරු ගැන ඔබට මොකද හිතෙන්නේ ?

පිළිතුර :- මේක කාන්තාවන්ගේ විතරක් නෙමේ මුළු රටේම ප‍්‍රශ්නයක් වෙලා. කාන්තාව කියන්නේ හැමදාම වගකීම් කරට අරගෙන තමන්ගේ ජීවිතයේ බොහෝ දේවල් කැප කරමින් කටයුතු කරන කෙනෙක්. අද තමන්ගේ දරුවා වෙනුවෙන්, පවුල වෙනුවෙන් කෑම ටිකක් හදන්න මුළුතැන් ගෙට යන්න කලින් කාන්තාවට දහ පාරකටත් වඩා හිතන්න වෙලා. තමන්ගේ ගෙදරම මුළුතැන්ගෙට යන්නේ මරන්න ගෙනියනවා වගේ හැඟීමකින්. ගෙදර බෝම්බයක් තියනවා කියලා හිතාගෙන තමයි කාන්තාවට වැඩ කරන්න වෙන්නේ. දවසින් දවස, පැයෙන් පැය ගෑස් පුපුරලා, ගෑස් ලීක් වෙලා කියන නිවුස් අහද්දී දකිද්දී මට මේ රටේ කාන්තාවන් ගැන පුදුම දුකක් ඇති වෙනවා. ඒ වගේම මීට අවුරුදු කිහිපයකට කලින් එවැනිම අනතුරකට මුහුණ දුන්නු කාන්තාවක් විදිහට ඒ පීඩනය, බය මට හොඳට තේරෙනවා. මේ ගෑස් ප‍්‍රශ්නය එක එක්කෙනාට චෝදනාකර කර මඟහරින්න තරම් සරල ප‍්‍රශ්නයක් නෙමෙයි. මේ රටේ ගෑස් සමාගම් වගේම මේකට සම්බන්ධ සියලූම ආයතන මේ ගැටලූවට වගකිව යුතුයි.

ප‍්‍රශ්නය :- 2017 වර්ෂයේ ඔබ මුහුණ දුන්න සිදුවීම මතක් කළොත්?

පිළිතුර :- ඒ සිදුවීම මතක් වෙද්දි අදටත් මට කම්පනයක් ඇති වෙනවා. මගේ නාවල නිවසේ ප‍්‍රධාන මුළුතැන්ගෙයට අමතරව උඩ තට්ටුවේ කුඩා මුළුතැන් ගෙයක් තියෙනවා. ඒ මුළුතැන්ගේ ඉවුම් පිහුම් කටයුතු කරන්නේ මමමයි. සේවිකාවක් ඒ මුළුතැන්ගේ කටයුතු කරන්නේ නෑ. කොහොම හරි ඔය කියන දවසේ දවල් දොළහට විතර ගෑස් එක ඉවර වෙලා වෙනදා ගෑස් ගේන තැනින්ම ගෙනැල්ලා ගෑස් එක සවි කළා. හවස මම උඩ තට්ටුවේ මුළුතැන්ගෙට ළඟම තියෙන බුදු කුටියේ පහන පත්තු කරලා ගිනි කූර නිමද්දිම ගින්නකුයි දුමකුයි එක්ක විශාල ශබ්ධයක් ආවා. මගේ අත් දෙකයි කකුල් දෙකයි පිච්චෙන වේදනාවටත් වඩා මට දැනුණේ විශාල කම්පනයක්. ඒ වෙලාවේ මට සිහිය නැති වුණත් විනාඩි ගාණකින් මට සිහිය ආවා. මම ඒ මොහොතේම මගේ මල්ලිට කෝල් එකක් අරගෙන සිද්ධිය කිව්වා. ඊට පස්සේ ආයෙත් මට සිහිය නැති වුණා. මගේ දිග කොණ්ඩෙටයි ඇඳුමටයි ගිනි ඇවිලිලා තිබුණා. මගේ අත පය වල හම ගැලවිලා එන තරමටම තත්ත්වය දරුණු වෙලා තිබුණේ. ඒවගේ අවස්ථාවකට කාටවත් මූණ දෙන්න සිද්ධ වෙන්න එපා කියලා මම හැමදාම ප‍්‍රාර්ථනා කරනවා.

ප‍්‍රශ්නය :- මේ දවස්වල ඇතැම් පිරිස් මේ ගෑස් අනතුරු ගැන සරලව කතා කරනවා. ඒ අත්දැකීමට මුහුණ දුන්න කෙනෙක් විදියට ඇත්තටම ඒ අවස්ථාව දැනුණෙ කොහොමද?

පිළිතුර :- ගෑස් අනතුරක් වෙනවා කියන එක විහිළුවක් නෙමෙයි. මට ඇතිවුණු කම්පනය ගැන කියන්න වචන නෑ. වෙලාවට මගේ මුහුණට අනතුරක් වෙලා තිබුණේ නැහැ. මගේ අතපය, දිග කොණ්ඩය පිච්චිලා තිබුණේ. මම දවස් ගාණක් දැඩිසත්කාර ඒකකයේ හිටියා. මගේ ජීවිතය අවදානමක තිබුණේ. මේ දේවල් කියද්දී සමහරු මට චෝදනා කරයි බොරුවට මිනිස්සු බය කරන්න හදනවා කියල. හැබැයි මම මුහුණ දුන්න අත්දැකීම මම තව කෙනෙක්ට කියන්නේ මේ තත්ත්වයේ බරපතළකම දැනගත යුතු නිසා සහ ඔවුන් ආරක්ෂා විය යුතුයි කියන පණිවිඩයත් එක්ක.

ප‍්‍රශ්නය :- ඔබ කියන්නෙ ඔබේ ජීවිතය ආරක්ෂා වුණේ ආශ්චර්යයකින් කියලා ද?

පිළිතුර :- ඇත්තටම ඒකත් එක්තරා ආශ්චර්යයක් තමයි. මගේ මල්ලි මාව ඒ වෙලාවේම ලංකා හොස්පිටල් එකට අරගෙන ගිහිං තිබුණා. තව ටික වෙලාවක් පරක්කු වුණා නම් මගේ ජීවිතය අනතුරේ. ලංකා හොස්පිටල් එකේ වෛද්‍යවරුන් ඇතුළු සියලූ දෙනාම මම වෙනුවෙන් මහන්සි වුණා. විශේෂයෙන්ම වෛද්‍ය දුලීප් පෙරේරා මහතාට ස්තුතිවන්ත විය යුතුයි.

අනෙක් කාරණය තමයි මගේ සැමියා මං වෙනුවෙන් විදේශ රටක ජීවිතාරක්ෂණයක් අරගෙන තිබුණා. ඒ නිසා ඒ අවස්ථාවේ හැටියට ප‍්‍රතිකාර කරගන්න මට පුළුවන් වුණා. මට කියන්න ඕන වුණේ මම ආරක්ෂාව වුණ විදිය ගැන නෙමෙයි. ඇත්තටම මේ රටේ ජීවිත රක්ෂණයක් ගන්න තරම් වත්කමක් නැති දවසේ වේල් තුන පිරිමහගෙන අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඈත ගම්වල ඉක්මනින් රෝහලකට යන්නවත් පහසු කමක් නෑ.

එහෙම මිනිස්සු ගෑස් එකක් පිපිරිලා අනතුරක් වුණොත් මොනවා කරන්නද?

ඒකයි මම කියන්නේ මේ රටේ ජනතාව ගැන කාන්තාවන් ගැන මට තියෙන්නේ දුකක් කියලා. ඒ නිසා තමයි මම කාන්තාවන් වෙනුවෙන් කතා කරන්නේ.

ප‍්‍රශ්නය :- ඇත්තටම ප‍්‍රශ්නය තියෙන්නේ ගෑස් සිලින්ඩරවල නෙමෙයි ගෑස් ලිපේ හරි රෙගියුලේටර් එකේ හරි කියලා සමහර පිරිස් කියනවා නේද?

පිළිතුර :- ආණ්ඩුවේ නොවන සහ ආණ්ඩුවේ වන පිරිසකුත් මේ ගෑස් අනතුරු විහිළුවට අරගෙන තියෙනවා. ප‍්‍රශ්නය රෙගියුලේටර් එකේ හරි ගෑස් ලිපේ හරි කියන පිරිස කරන්නේ මේ ප‍්‍රශ්නයෙන් පැනලා යන්න උත්සාහ දරන එක. ගෑස් ආශ‍්‍රිතව සිදුවන අනතුරුවලට වගකිවයුත්තන් නොසඟවා අනාවරණය කිරීම රජයේ වගකීමක්.

ප‍්‍රශ්නය :- ඒ කියන්නෙ ඔබටත් මේ ගෑස් සංයුතිය පිළිබඳව සැකයක් තියෙනවද ?

පිළිතුර :- පැහැදිළිවම ඔව්. ගෑස් ලිප්වල රෙගියුලේටරයෙහි ප‍්‍රශ්නයක් තියනවනම් එක දිගට මේ වගේ අනතුරු වෙන්න විදිහක් නෑ. මමත් දැන් ගෑස් එක පාවිච්චි කරන්නේ නෑ. විදුලියෙන්ම තමයි වැඩ කර ගන්නේ. කොයි වෙලේ මේ ගෑස් එක ගිනි ගනීද කියලා අපිත් බයෙන් ඉන්නේ. ඒ නිසා මම නැවතත් කියනවා මේ ගෑස් සංයුතියෙහි ප‍්‍රශ්නයක් තියෙනවා. ඒකට මේ රටේ ප‍්‍රධාන ගෑස් සමාගම් වගකිව යුතුයි. මේ ප‍්‍රශ්නය යට ගහලා සාමාන්‍ය ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන හැම දෙනෙක්ම මේ නැතිවෙන ජීවිතවලට දේපළවලට වගකිව යුතුයි.

ප‍්‍රශ්නය :- ගෑස් අනතුරු ගැන වගේම කාන්තාවන් ගැනත් පාර්ලිමේන්තුව ඇතුළේ විවිධ පුද්ගලයන් හෑල්ලූවෙන් කතා කරනවා නේද ?

පිළිතුර :- අපේ රටේ උත්තරීතරම ආයතනය පාර්ලිමේන්තුව වුණත්, වගකීමක් නැතිව කිසිම විනයක් නැතුව කටයුතු කරන පිරිසක් ඒක ඇතුලෙත් ඉන්නවා. ආණ්ඩු පක්ෂයේත් ඉන්නවා. පහුගිය දවස්වල කාන්තාවන්ට ඒ පිරිස හරිම පහත් විදිහට කතා කළා. ගැහැනියක්ට ගරු කරන්න දන්නෙ නැති, කතා කරන්න දන්නැති මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉන්නවා කියන්නේ මේ රටේ සාමාන්‍ය මිනිස්සු ගැන කියලා වැඩක් නැහැ. හැබැයි බැනලා රණ්ඩු කරල කෑගහලා ඔවුන්ගේ මත වෙනස් කරන්නත් බෑ. කවුරු වුණත් කාන්තාවක්ට ගරු කළ යුතු ආකාරය පිළිබඳව ඉගෙන ගත යුතුයි.

ප‍්‍රශ්නය :- දැන් ඔබේ පක්ෂයේම ඇතැම් පුද්ගලයන්ගේ ක‍්‍රියා කලාපයන් ගැන ඔබ කලකිරීමෙන් කතා කරනවා. ඇත්තටම දැන් ඉන්නේ ආණ්ඩුව ගැන කලකිරිලද?

පිළිතුර :- මම මේ දේවල් කීවේ ආණ්ඩුවෙන් යන්න වත් ආණ්ඩුව විවේචනය කරන්නවත් නෙමෙයි. හැබැයි ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගේ වුණත් වැරැද්දක් තියෙනවනම් ඒ වෙනුවෙන් කතා කරන්න මට අයිතියක් තියෙනවා. අනික මම දේශපාලනයට ආවේ ඒ ගැන කිසිම දෙයක් දන්නැතුව නෙමෙයි. අවුරුදු දොළහකටත් වැඩි අත්දැකීම් ගොන්නක් දේශපාලනය ගැන මට තියනවා. මම රඟපෑමත් අතහැරලා දේශපාලනය වෙනුවෙන් වැඩකළා. දේශපාලනයට ආපු මුල් දවස්වල සංවිධායකවරයෙක් වුණත් මට මීට වැඩිය ගෞරවයක් තිබ්බා. මිනිසුන් වෙනුවෙන් වැඩ කරන්න අවස්ථාවක් තිබුණා. දැන් ඒ හැමදේම නැතිවෙලා ගිහිල්ලා.

ප‍්‍රශ්නය :- ඔබේ කතාවෙන් තේරෙන්නේ ඔබ ආණ්ඩුව ගැන වගේම දේශපාලනය ගැනත් කලකිරිලා වගෙයි.

පිළිතුර :- මම දේශපාලනයට ආවේ අද ඊයෙක නෙමෙයි. මගෙ ඇඟේ දේශපාලනය ගැන උණක් තිබ්බ හින්දයි දේශපාලනයට ආවේ. විජය කුමාරතුංග අඩඅංගුවට ගත්තු කාලේ මං අවුරුදු 22 කෙල්ලක්. හැබැයි මම නන්දාමාලනි මහත්මිය ඇතුළු පිරිස එක්ක එකතු වෙලා විජය කුමාරතුංගයන් අත්අඩංගුවට ගැනීම ගැන විරෝධය දැක්වූවා. මැතිනියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරපු වෙලාවේ අපි ඒ වෙනුවෙන් පෙනී හිටියා. මම තරු රශ්මියෙන් බැබලූණ නිළියක්. මම රඟපෑම අත් හැරලා තමයි දේශපාලනයට ආවේ. ස්විට්සර්ලන්ත පුරවැසි භාවයත් ලබා ගැනීමට ලැබුණ අවස්ථාවත් දේශපාලනය නිසා අතහැරියා. හැමදේම ඒ විදිහට වෙද්දි අවුරුදු ගාණක් මාව පාවිච්චි කරලා ජනතාව වෙනුවෙන් සේවය කරන්න මට හිමි වෙන්න ඕනි අවස්ථාව නැති කරලා දාලා ඒ වෙනුවෙන් නුසුදුස්සන් පත් කරා. ඉතින් ඒ ගැන මට කලකිරීමක් තියෙනවා.

ප‍්‍රශ්නය :- දේශපාලනය නිසා ඔබ රඟපෑම පවා අත්හැරියා. ඒ ගැන අද පසුතැවෙනවා ද ?

පිළිතුර :- මම දේශපාලනය වෙනුවෙන් කරපු කිසිම දෙයක් ගැන පසුතැවෙන්නේ නෑ. මම මේ ආණ්ඩුව දිනවන්න මට හැකි උපරිමයටත් එහා ගිහින් වැඩ කළා. ස්ටේජ්වල යටිගිරියෙන් කෑ ගගහා මිනිස්සුන්ට ඇත්ත තේරුම් කරලා දුන්නා. මම මේ පක්ෂය හදන්න නුවර ඉදන් කොළඹට පයින් ආවා. එහෙම වෙලත් අවසානේ හිමිවිය යුතු තැන වත් මට හිමි වුණේ නෑ .ඒ ගැන මට
කනගාටුවක් නැහැ. මට අහිමි වුණ දේ ගැන දුකකුත් නෑ. හැබැයි මේ හැමදේම නිසා පීඩාවට පත්වුණේ බෙන්තර ඇල්පිටිය අහිංසක ජනතාව. මම වැඩ කළේ ඔවුන්ගේ නියෝජිතවරිය විදිහට. බෙන්තර ඇල්පිටිය අහිංසක ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට නොවීම ගැන ඇත්තටම මට තියෙන්නේ කලකිරීමක් සහ කනගාටුවක්.

නිරෝෂා වාසල

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?