කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ ප්‍රධාන ගෝලයෙකු මෙරට නිෂ්පාදිත මිලිමීටර් 09 උණ්ඩ යෙදවිය හැකි ගිනි අවියක් සහ උණ්ඩ තුනක්, අයිස් මත්ද්‍රව්‍යය ද සමඟ කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුව ඊයේ (02) පස්වරුවේ කළුතර – නාගොඩ මංසන්ධියේ දී අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ගිනිඅවියක් සමග පුද්ගලයකු කළුතර – නාගොඩ ප්‍රදේශයේ සැරිසරන බවට ලද තොරතුරක් මත මෙම සැකකරු හඳුනාගෙන සැකකරු ව පරීක්ෂා කිරීමේ දී ඔහු කරේ දමා සිටි බෑගය පරීක්ෂා කිරීමේ දී එම බෑගයේ තිබී ගිනිඅවිය සහ උණ්ඩ තුන සොයා ගැනීමට හැකි වූ බව පැවසෙනවා.
මෙම සැකකරු පසුගියදා කටුකුරුන්ද ප්‍රදේශයේ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව අනුබලදීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත ව සිට ඇප මත සිටින පුද්ගලයකු බවයි.
ඒ අනුව කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලියකට සෘජුව ම සම්බන්ධකම් ඇති පුද්ගලයකු බවට ද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
සැකකරු 29 හැවිරිදි කිතුලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු ව අද (03) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.