ගණිකාව ගැන මේ සමාජය ඇතුලේ විවිධ කතා ඇතිවෙලා තියෙනවා.
ඉතිං අපි හිතුවා ගණිකාව සහ නීතිය ගැන නීතීඥ සාරංග වාදසිංහගේ පැහැදිලි කිරීමක් ගොසිප් ලංකා නිව්ස් පාඨකයන් වෙත ගෙන එන්න.
ගණිකාව නීතිය ඉදිරියේ වරදකාරියක්ද?
ලංකා නීතියේ ගණිකා වෘත්තිය හා සම්බන්ධ ක්‍රියාකාරකම් පාලනය වන පනත් පහක් ඇත.
එනම් දණ්ඩ නීති සංග්‍රහය(Penal Code),2005 අංක 12 දරණ පනතින් සංශෝධිත 1889 අංක 05 දරණ ගණිකාවාස ආඥා පනත (Brothels Ordinance ) සහ 1947 අංක 20 දරණ පනතින් සංශෝධනය වූ අයාල ආඥාපනත (Vagrants Ordinance ),1939 අංක 48 දරණ ළමයින් හා තරුණයින් පිලිබඳ ආඥාපනත (Children and Young Persons Ordinance ) සහ 2005 අංක 30 දරණ වෛශ්‍යා වෘත්තිය සදහා කාන්තාවන් සහ ළමයින් ජාවාරම් කිරීම වැලැක්වීම සහ ඊට එරෙහිව කටයුතු කිරීමේ පනත යන ඒවාය.
පළමුව ගණිකාවාස ආඥා පනතේ ප්‍රතිපාදන සම්බන්ධව සලකා බලමු.
පනතේ 2 (අ) වගන්තිය මෙසේ දක්වයි
” ගණිකාවාසයක් පවත්වාගෙන යන්නා වූ හෝ කළමනාකරණය සදහා ක්‍රියා කරන්නා වූ හෝ ආධාර කරන්නා වූ යම් තැනැත්තෙකු වරදකට වරදකරු විය යුතු අතර….”
ඉහත වගන්තිය ඉතා සුපරික්ෂාකාරීව කියවා බලන විට පෙනී යන්නේ ගණිකා වෘත්තියේ යෙදීම වරදක් ලෙස එහි දක්වා නොමැති බවයි.මූලිකවම ගණිකා නිවාස පවත්වාගෙන යනු ලබන පුද්ගලයන් අරමුණු කොට ගෙන වරද නිර්මාණය කර ඇති බව පෙනේ.
එම වගන්තියේම ගණිකාවාසයක් පවත්වාගෙන යාමට ආධාර කිරීම වරදක් ලෙස දක්වා ඇත.යම් ගණිකාවාසයක ගණිකාවක ලෙස සේවයේ යෙදෙන තැනැත්තියකට එරෙහිව මෙම “ආධාර” ලබා දීමේ චෝදනාව ගෙන ආ හැකිද? අබේකෝන් එ.කුලතුංග (52 NLR 47) නඩුවේදී තීරණය කරන ලද්දේ ගණිකාවාසයක් තුළ ගණිකා වෘත්තියේ යෙදෙන හෝ ඒ සදහා තබා ගැණුනු ස්ත්‍රියකට එරෙහිව ගණිකාවාස ආඥා පනතේ 2(අ) වගන්තිය යටතේ ගණිකාවාසයක් පාලනයට සහය දීම වෙනුවෙන් චෝදනා කළ නොහැකි බවයි.
ඒ අනූව ගණිකාවාස ආඥා පනත යටතේ ගණිකා වෘත්තියේ යෙදීම වරදක් ලෙස දක්වා නොමැති බව ඉතා පැහැදිලිව කිව හැකිය.
අප මීළඟට අයාල ආඥ පනත මගින් මේ සම්බන්ධව සලසා ඇති ප්‍රතිපාදන සලකා බලමු.
එම පනතේ 02,03 හා 09 වගන්ති යම් ආකාරයකින් ගණිකා වෘත්තිය සම්බන්ධව යොදා ගත හැකි බව පෙනේ.
පළමුව 02 වගන්තිය විමසා බලමු.
එම වගන්තියේ සදහන් වන්නේ ප්‍රසිද්ධ මාර්ගයක හෝ මහාමාර්යක දැඩි ලෙස අසංවර හා නොහික්මුණු ආකාරයෙන් හැසිරෙන සෑම පුද්ගලයෙකුම වරදක් සිදු කරන බවයි.
03 වගන්තිය දක්වා ඇත්තේ ගණිකාවක් ප්‍රසිද්ධ මාරගයක හෝ මහාමාර්යක හෝ පොදු නිකේතනයක අයාලේ යමින් සිටින විටක හෝ නොහික්මුණු හෝ අශෝභන ලෙස හැසිරෙනවා නම් වරදක් කරන බවයි.
මෙම වගන්තිය හරහා යම් ආකාරයකට අසංවර ලෙස හැසිරෙන ගණිකාවකට එරෙහිව චෝදනා එල්ල කළ හැකි වුවද ප්‍රසිද්ධ මාරගයක සංවර ලෙස හැසිරෙන ගණිකාවකට නඩු පැවරිය නොහැකි බව ප්‍රත්‍යක්ෂ වේ.
පනතේ 09 වගන්තිය යටතේ යම් තැනැත්තන් හා තැනැත්තියන් ගණිකා වෘත්තියේ යොදවමින් එය ආදායම් මාර්ගය කරගෙන සිටින තැනැත්තන් ට එරෙහිව ලබා දිය හැකි දඩුවම් දක්වා ඇත.
මෙහිදීද ගණිකා වෘත්තියේ යෙදෙන තැනැත්තියකට එරෙහිව නඩු පැවරීමට නීතිමය ප්‍රතිපාදනයක් ඇති කර නොමැත.මේ බව මෙම පනතට අදාලව තීන්දු කරන ලද සයිබෝ එ. චෙල්ලම්(25 NLR 251)නඩු තීන්දුවේදීද සදහන් කොට ඇත.
2005 අංක 30 දරණ වෛශ්‍යා වෘත්තිය සදහා කාන්තාවන් සහ ළමයින් ජාවාරම් කිරීම වැලැක්වීම සහ ඊට එරෙහිව කටයුතු කිරීමේ පනත යටතේ ද ස්වාධීනව ගණිකා වෘත්තියේ යෙදීම වරදක් ලෙස දක්වා නොමැත.
1939 අංක 48 දරණ ළමයින් හා තරුණයින් පිළිබඳ ආඥාපනතේ 72 සහ 73 වගන්ති අනූ ළමයින් හෝ තරුණ තැනැත්තියන් ගණිකා සේවයේ යෙදවීම හෝ ගණිකා නිවාසයක නතර වී සිටීමට ඉඩ හැරීම වරදක් බව දක්වා ඇත.
නමුත් ගණිකාවක ලෙස කටයුතු කිරීම වරදක් බව මෙම පනතේද හඳුන්වා නැත.
අවසාන වශයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 360(A) ගැන විමසා බලමු.එම වරද “කුට්ටනය” ලෙස හදුන්වන අතර එහි සදහන් වන්නේ යම් තැනැත්තියක හෝ තැනැත්තෙකු ලංකාව තුළ හෝ ලංකාවෙන් පිට ගණිකාවක් බවට පත් කිරීම වරදක් බවයි.මෙහිදී ද යම් දඩුවමක් ලබා දිය හැක්කේ කාන්තාවක ගණිකාවක බවට පත් කරන අයට විරුද්ධව මිස ගණිකා සේවයේ යෙදෙන අයට නොවේ.
බොහෝ තරුණ තරුණියන් යම් යම් හොටල්,ලැගුම්හල් හෝ එවැනි ස්ථානවලට ගොස් තම පෙම්වතා පෙම්වතිය සමග ලිංගිකව එක්වීමේ පුරුද්දක් ඇත.
එවන් අවස්ථාවක ඔවුන් අත් අඩංගුවට ගැනීමට පොලීසියට බලය තිබේද යන්නත් සොයා බැලිය යුතුය.
ඩැනී එ.සිරිනිමල් ද සිල්වා( 2001 (1) SLR 29 )* නඩුවේ දී සාකච්ඡා කරනු ලැබූයේ ලැගුම්හලක සිටි කාන්තාවක හා පිරිමියෙකු අත් අඩංගුවට ගෙන ගණිකාවස ආඥාපනත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමයි.එහිදී තීන්දු කොට ඇත්තේ ගණිකාවාස ආඥාපනතේ 02 වගන්තියේ විධිවිධාන යටතේ ගැහැණියක හා පිරිමියෙකු ලිංගික සංසර්ගයේ යෙදීම වරදක් නොවන බවයි.
එම නිසා එවැනි අවස්ථාවක අත් අඩංගුවට ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1) ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවයි.
ඉහත දක්වන ලද සියලුම නීති තත්වයන් සලකා බලා කිව හැක්කේ ස්වාධීනව ගණිකා වෘත්තිය ජීවිකාව ලෙස පවත්වාගෙන යන කාන්තාවක අත් අඩංගුවට ගැනීමට හෝ එවන් තැනැත්තියකට එරෙහිව නඩු පැවරීමට ලංකා නීතියේ කිසිඳු ප්‍රතිපාදනයක් නොමැති බවයි.
නීතිඥ සාරංග වාදසිංහ