අයිස් හදන්න පද්මේ ගෙන ආ රසායනික ද්‍රව්‍ය තොගය අද රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට

මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදී සොයාගත්, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය තොගය අද (06) දිනයේ රස පරීක්ෂකවරයා නිරීක්ෂණය කිරීමට නියමිතයි.

රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ මෙහිදී සොයාගැනුණු අතර, බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන් නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී සඟවා තිබූ මෙම රසායනික ද්‍රව්‍ය ඊයේ (05) සොයා ගැනුණා.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ බවයි බැකෝ සමන් හෙළිකර ඇත්තේ.

මේ අතර මෙම රසායනික ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙක් හා ඔහුගේ සහෝදරයා විසින් තබාගෙන සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔවුන් දෙදෙනා මේ වනවිට පළාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

පසුගියදා බැකෝ සමන් මිද්දෙණිය ප්‍රදේශයට රැගෙන ඒමත් සමඟ බිය වූ අදාළ සහෝදරයන් දෙදෙනා වෙනත් ස්ථානයක ගබඩාකර තිබූ මෙම රසායනික ද්‍රව්‍ය තොගය බූම් ට්‍රක් රථයක් යොදාගෙන මෙම ඉඩමට ගෙනැවිත් වළදමා ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

එලෙස වළ දමූ ස්ථානයට ඊයේ (05) දිනයේ දී කොන්ක්‍රීට් දැමීමට සූදානම්ව සිට ඇති බවට ද පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම රසායන ද්‍රව්‍ය භාවිත කරමින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් පමණ සැකසීමේ හැකියාව පවතින බවයි විමර්ශන සිදුකරන පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?