ජීවන වියදම ඉහළ යාමට එරෙහිව ඉකුත්දා සමගි ජන බලවේගය විසින් කුරුඳුවත්ත පොලිස් වසම තුළ පවත්වනු ලැබූ සාමකාමී උද්ඝෝෂණයට පොලිසිය විසින් එල්ල කරනු ලැබූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරවලින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන අය විසින් පෙත්සම ගොනු කළා.
එහි වග උත්තරකරුවන් ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර, කුරුඳුවත්ත, කොටුව සහ කොල්ලූපිටිය පොලිසිවල ස්ථානාධිපතිවරු ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ ජීවන වියදම ඉහළයාමට විරෝධය පල කරමින් සමගි ජන බලවේගය විසින් ඉකුත් ජනවාරි 30 වනදා රජයට සිය විරෝධය පළ කරමින් විහාර මහා දේවි උද්‍යානය ආශ්‍රිතව සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු කළ බවයි.
එම උද්ඝෝෂණ ක්‍රියාවලිය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස කුරුඳුවත්ත පොලිසිය විසින් කරනු ලැබූ ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබූ බවත් පෙත්සමේ සඳහන් වෙනවා.
සාමකාමී ආකාරයෙන් ඇරඹුණු මෙම විරෝධතාවයට කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පොලිසිය විසින් අත්තනෝමතික හා අනීතික ආකාරයට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.
මේ තුළින් වග උත්තරකාර පොලිස් නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් සහතික කර තිබෙන නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිය, රැස්වීමේ මූලික අයිතිය ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.



