ජපානයේ පැවති 05 වන ආසියා, අප්‍රිකා සහ ෆැසිපික් සවි එසවීමේ තරගාවලියට සහභාගී වූ 11 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම, එහිදී සමස්ත තරගාවලියේ පදක්කම් 40ක් දිනා ගැනීමට සමත් වුණා.
ඔවුන් අතරින් පළමු කණ්ඩායම රන් පදක්කම් 05ක්, රිදී පදක්කම් 06ක් සහ ලෝකඩ පදක්කම් 04ක් දිනා ගෙන ඊයේ (14) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 22ක සවි එසවීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400කගේ සහභාගීත්වයෙන් ඉකුත් ජුලි 05 වැනි දින සිට 13 දින දක්වා ජපානයේ හිමෙජි (Himeji) නුවර දී පැවැත්වුණා.
පදක්කම් දිනා ගත් පළමු කණ්ඩායමේ සිව් දෙනෙකු ඊයේ පස්වරු 06.42 ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
ඔවුන් අතරින් කිලෝග්‍රෑම් 83 බර පන්තිය යටතේ වයස අවුරුදු 50ට වැඩි ජ්‍යෙෂ්ඨ අංශයෙන් තරග කළ චන්දන තිලකරත්න රන් පදක්කම් 03ක් සහ එක් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.
කිලෝග්‍රෑම් 120 විවෘත බර පංතිය යටතේ තරග කළ උවිඳු ජයසිංහ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 04 ක් දිනා ගැනීමට සමත් වුවා.
ඊට අමතරව කිලෝග්‍රෑම් 84 කාන්තා විවෘත අංශයෙන් තරග කළ නිදර්ශිකා කුමාරන් රන් පදක්කමක් සහ රිදී පදක්කම් 03ක් දිනා ගැනීමට සමත් වී සිටියා.
කිලෝග්‍රෑම් 93 කනිෂ්ඨ අංශයෙන් තරග කළ සහන් විශ්වික රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.
අනෙකුත් පදක්කම් දිනා ගත් පිරිස අද (15) දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතයි.




