ශ්රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් ගමන් පහසුකම් සළසන අඩු වියදම් ගුවන් සේවයක් (Budjet Air Line) වන, වියට් ජෙට් ගුවන් සේවය සිය ගුවන් සේවා ආරම්භ කරමින් එහි ප්රථම ගුවන් යානය ඊයේ (18) රාත්රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
මේ සදහා පිරිමැසුම්දායක පංතියේ ආසන 180ක් ඇති, ඒ 320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර, එම ගුවන් යානය පදවා ගෙන පැමිණි ප්රධාන ගුවන් නියමුවා සහ සහායක නියමුවා ලෙස ශ්රී ලාංකිකයන් දෙදෙනෙකුවීම ද විශේෂත්වයක්.
මෙම වියට් ජෙට් ගුවන් සේවයේ වී.ජේ.- 1875 දරණ පළමු ගුවන් යානය ඊයේ (18) රාත්රී 09.33ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගුවන් මගීන් 169 දෙනෙකු රැගෙන පැමිණ තිබූ අතර, එම යානය මගීන් 171 දෙනෙකු රැගෙන යළිත් කටුනායක ගුවන් තොටුපොළෙන් වියට්නාමයේ හෝචිමිං ගුවන් තොටුපොළ බලා පිටත්ව ගිය බවයි දසත නිවුස් ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.













