පොඩි පැටීව වෙඩි තබා ඝාතනය කිරීම කරන්දෙණිය සුද්දාගේ වැඩක් බවට සැක

හුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේ දී ඊයේ (01) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකරුවෙක්වන “ලොකු පැටී” නැමැත්තාගේ සහෝදරයා ජීවිතක්ෂයට පත් වුණා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා න්තුවාහන්දි සුගත් නුවන් කුමාර ද සිල්වා නොහොත් “පොඩි පැටී” නැමැත්තා වයස අවුරුදු 34ක අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (01) රාත්‍රී 8.10ට පමණ නාඳුනන වෙඩික්කරුවෙක් විසින් මිලි මීටර් 09 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ලොකු පැටීගේ සහෝදරයා නිවස ඉදිරිපිට රැදී සිටි අවස්ථාවේ දී පා ගමනින් පැමිණි වෙඩික්කරු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ලොකු පැටීගේ සහෝදරයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවෙක්වන කරන්දෙණිය සුද්දාගේ පාර්ශවයෙන් සිදුකරන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

මේ අතර පසුගිය අප්‍රේල් මස 16 වනදා රාත්‍රියේ අහුන්ගල්ල, බෝගහපිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකට සහභාගී වී ත්‍රිරෝද රථයකින් නිවසට පැමිණෙමින් සිටිය දී පොඩි පැටී වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී ඔහු දිවි බේරාගැනීමට සමත් වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.