ශ්‍රී ලංකාව ආසන්නයේ අඩු පීඩන කලාපයක් – අදත් වැසි වැඩිවෙයි

ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය, අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, අද (22) දිනයේදී දිවයින පුරා මෙන්ම දිවයින අවට ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වලද වැසි තත්ත්වය වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාව ඇතුළු මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුර, වයඹ සහ දකුණු පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින බවත් කාලගුණ නිවේදනයේ සඳහන්.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද නිවේදනයේ සඳහන් වනවා.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ හරහා දැනුම් දී තිබෙනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.