දඹාන ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක නීති විරෝධීව සගවා තිබූ දැව තොගයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගැනීමට යාමේදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
කුඹුක් සහ තේක්ක දැව තොගයක් මෙම ව්‍යාපාරික ආයතනයේ සගවා ඇති බවට ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ රාත්‍රී 8ට පමණ නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත්තේ.
මහියංගණ වන අඩිවි කාර්යාල නිලධාරීන් අදාළ ස්ථානය පරීක්ෂාකර බලා තොරතුරු තහවුරු කරගැනීමෙන් පසුව නීති විරෝධීව සන්තකයේ තබගෙන සිටි දැව තොගය මාධ්‍යට නිරාවරණය කර තිබෙනවා.
මාධ්‍යවේදින් එම ස්ථානයට රැගෙන යෑම සඳහා පැමිණි වන සංරක්ෂණ නිලධාරියාට අදාළ කර්මාන්ත ශාලාවේ මුරකරු බාධා කරමින් විරෝධය පළ කළ අතර, නිලධාරියාගේ දෙපා ගේට්ටුවට අසුවන සේ තද කර ගේට්ටුව වසා ඇතුලු වීම වැලැක්වීමට උත්සාහ ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා හිරිහැර කිරිමේ චෝදනාව යටතේ අත් අඩංගුවට ගැනීමට සිටි ආරක්ෂක නිලධාරියා මද වේලාවකට පසු එම ස්ථානයෙන් පළා ගිය අතර ඒ සම්බන්ධයෙන් වන සංරක්ෂණ නිලධාරීන් ඔහුට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
කර්මාන්ත ශාලාව පරික්ෂා කිරීමේදී එහි තරප්පු පෙළට, අවන්හලකට, පිහිණුම් තටාකය අසල පොළොවට ඇල්ලීම සඳහා කුඹුක් ලෑලි යොදාගෙන තිබු අතර, ඊට අමතරව ලී කැබලි විශාල ප්‍රමාණයක්ද එහි තිබී වන සංරක්ෂණ නිලධාරීන් භාරයට ගත් බවයි අප වාර්තාකරු කියාසිටියේ.
අත් අඩංගුවට ගත් ලී හා ලෑලි තොගය මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා රැගෙන ගොස් ඇති අතර මැණුම් කටයුතුවලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කර්මාන්ත ශාලාවේ ආරක්ෂක නිලධාරියාගේ ක්‍රියාවෙන් වන සංරක්ෂණ නිලධාරියාගේ පාදයකට තුවාල සිදු වී ඇති අතර ඔහු එම හානියට ප්‍රතිකාර ලබාගැනීම සඳහා මහියංගණ මූලික රෝහලට ඇතුලත් වී තිබෙනවා.