ලක්ෂ 500ක් කාබාසිනියා කළ ලංගම පරණ බහිරවයන්ට තවදුරටත් ඉඩ දෙමුද ?

2024 ජනවාරි 05 දින කැඳ වූ ටෙන්ඩර් අංක MT/04/09/CT/545 ප්‍රදානයේදී රුපියල් ලක්ෂ 15,000ක් වටිනා ටයර් 24,000කට ආසන්න සංඛ්‍යාවක් වෙනුවෙන් අඩුම ලංසු තැබූ පාර්ශ්වය නොතකා හරිමින් ටෙන්ඩරය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීම නිසා එවකට ලංගමට සිදු වූ පාඩුව රුපියල් ලක්ෂ 500 ඉක්මවුණා.

ලක්ෂ 500ක් පාඩු කරමින් ලංගම බහිරවයන් ටෙන්ඩරය අවලංගු කිරීමේදී කැබිනට් මණ්ඩලය විසින් පත් කරගත් කොමිටියට දන්වා සිටිනුයේ වසර 30-40 ක් පාවිච්චි කරන ලන්සු කැඳවීම් පත බොහෝ පරණ බැවින් මෙම ලක්ෂ 15,000 ටයර් 24,000කට කැඳවූ ටෙන්ඩරය අවලංගු කරන ලෙසයි.

ඒ කාලයේ ටයර් නොමැති නිසා ලංගම බස් කොටඋඩ ගොස් අසරණ මගීන්ට මහ මඟ ලතැවීමට සිදු වූ බව මාධ්‍ය තුළින් සුලබව අසන්නට ලැබුණු සිදුවීමක්.

අවසානයේ සිදු වූයේ එවකට පැවැති කැබිනට් මණ්ඩලය මගියන්ගේ දුක් ගැනවිලි පසෙක තබා හිසරදයට කොට්ට මාරු කරන්නා සේ, ලංගම බහිරවයන්ට සල්ලි යටිමඩි ගසන්න තවත් ඉඩ ප්‍රස්ථා ලබා දෙමින් ලංගම ප්‍රාදේශීය ඩිපෝ වලට ටයර් ටෙන්ඩර් කැඳවීමට අවස්ථාව ලබාදීමට තීරණය කිරීමයි.

මේ නිසා ලංගමට වැඩිමිලට ටයර් මිල දී ගන්නට සිදුවීමෙන් මහජන මුදල් වලට සිදු වූ ඇත්ත පාඩුව කුමක්දැයි අපි කිසිවෙක් නොදනිමු.

නමුත් මේ සියල්ල පිටුපස නීතිය රකින්නෙකු ලෙස පෙනී සිටිමින්, දහමට මුවා වෙමින් සියලු අනීතික වැඩ වලට උඩගෙඩි දුන් කොළඹ දේශපාලකයෙකු මෙන්ම දකුණු පළාතේ හිටපු ප්‍රබල දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වූ බවට කටකතා පැතිරී තිබුණා.

බලය ඇති සමයේ පිළිකුල් සහගත අයුරින් ඊනියා නීතියක් පෙරට ගෙන බලය අයුතු ලෙස පාවිච්චි කළ කොළඹ දේශපාලකයා පවතින මානව හිතවාදී රජය විවේචනය කරනු පසුගිය සමයේ දක්නට ලැබුණා..

දකුණු පළාතේ දේශපාලකයා දැනුදු පවතින රජයට රට සංර්වර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව උපදෙස් දීමට උත්සාහ කරනු දැකීමත් සිනහවට කරුණකි. කුමක් කළත් ඔවුන්ගේ දූෂිත ක්‍රියාකලාපයන් හෙළි වී ළඟදීම අපට ඔවුන්ව FCID එකේදී දකින්නට ලැබේවායි යන්න ජනතාවගේ ඒකා යන ප්‍රාර්ථනාවයි.

නිදි වරමින් දුප්පත් මහජනතාවට සේවය කිරීමට උත්සාහ කරන ඇමැතිතුමනි, නියෝජ්‍ය ඇමතිතුමනි ඔබ
ආයතනයේ සිටින හොර තක්කඩි බහිරවයන් ඉවත් කර ඔබතුමන්ලාට දුප්පත් අපට සේවයක් සැපයීමට ඉඩ
ප්‍රස්ථාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

දින කිහිපයකට පෙර කැඳවූ ටෙන්ඩරයකින් මහජන මුදල් ලක්ෂ 450 කට පාඩු කිරීමට සැලසෙන බහිරවයන්ගේ ක්‍රියාව වැළැක්වුවහොත් ඔබතුමාට අපහට තවත් මෙට්‍රො බස් රථයක් ලබාදීමට හැකිවනවා.

ඒවගේම මෙවැනි රාජ්‍ය ආයතනවල රාජ්‍ය සේවකයින්ට කොමිෂන් ලබාදීම සිදු කරන නීච පුරවැසියන් සහ කොමිෂන් ලබා ගන්නා රාජ්‍ය සේවකයින් නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කිරීම ඉතාමත් කාලෝචිතවන අතර මෙවැනි මහජන වංචාවන් නැවත සිදු කිරීම වළක්වන මහජන හිතවාදී පියවරක්.

දූෂණයට හා මූල්‍ය අක්‍රමිකතා වලට එරෙහිව කටයුතු කරන පවත්නා රජය පිළිබඳව ජනතාව විසින් ඉමහත් විශ්වාසයක් තබා ඇති පසුබිමක මෙවැනි බහිරව නිලධාරින් කිහිපදෙනෙකුගේ මෙම පිළිකුල් සහගත ක්‍රියාවන් හේතුවෙන් රජය අපකීර්තියට පත්වීම වැළැක්වීමට මෙම චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන 300 විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් සිදුකර සත්‍ය තත්ත්වය රටට හෙළි කිරීම වැදගත්.