ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ

ඉන්දියාවේ ජාතික සමූපකාර අපනයන සමාගම සහ ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය අතර ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (05) සිදුකෙරුණා.

ඉන්දියාවේ ජාතික සමූපකාර අපනයන සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ අනුපම් කෞෂි, ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය වෙනුවෙන් එහි සභාපති ආචාර්ය ශාන්ත ජයරත්න මෙම ගිවිසුමට අත්සන් තැබුවා.

එම අවස්ථාවට මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ද එක්වුණා.

ඊට සමඟාමීව නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) යාවත්කාලීන කිරීම ඇතුළු වෙළෙඳ හා වාණිජමය ගැටලු පිළිබඳවද ඉන්දීය මහකොමසාරිස්වරයා හා වෙළෙඳ අමාත්‍යවරයා අතර ඵලදායී සාකච්ඡාවක් පැවැත් වුණා.