මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියට අදාළ නඩුව අද (30) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවනු ලැබුවා.
එහිදී එම සිද්ධිය සිදුවන අවස්ථාවේ මීගමුව බන්ධනාගාරයේ සේවයේ නිරතව සිටි ප්‍රධාන ජේලර්වරයා, මීගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ සාක්ෂි ලබා දුන්නා.
සිද්ධිය සිදුවන අවස්ථාවේ දී මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස කටයුතු කළ වික්‍රම ජයන්ත කුමාර, පස්වරු 1.00ට පමණ සාක්ෂි ලබාදීම ආරම්භ කර ඇති අතර, එම සාක්ෂි දීම පස්වරු 3.00 පමණ වනතුරු පැවැති බවයි දසත නිවුස් අධිකරණ වර්තාකරිනිය සඳහන් කළේ.
ප්‍රධාන ජේලර්වරයා ලබාදුන් සාක්ෂියේ ජාතික ආරක්ෂාවට දැඩි සංවේදීතාවක් ඇති තොරතුරු ඇතුළත් බව සාක්ෂි ලබා ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය සඳහන් කර තිබෙනවා.
එම තොරතුරු හෙළිදරව් වීමෙන් රටේ ජාතික ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්විය හැකි බැවින් එම සාක්ෂියේ අන්තර්ගතය කිසිදු මාධ්‍යයක පළ නොකරන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.
එමෙන්ම අදාළ සාක්ෂිය සුරක්ෂිතව තබන ලෙසට ද අධිකරණය නියෝග කෙරුණා.
මේ අතර මෙම සිද්ධියෙන් පසු කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයන් සම්බන්ධයෙන් ද බන්ධනාගාර නිලධාරීන් විසින් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.













