අපේක්ෂිත ඇපයක් ඉල්ලා ශිරන්තිගෙන් ඇප අයැදුම්පත්‍රයක්

ප්‍රකාශයක් ලබාදීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම් දී ඇති පසුබිමක, රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස්ගතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අද (05) අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රයක් නීතිඥ ජයබාලන් මගින් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, ඕනෑම ඇප කොන්දේසියක් යටතේ තමන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින්.

මෙම ඉල්ලීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනනි පෙරේරා මහත්මිය ඉදිරියේ අද (05) කැඳවා තිබුණා.

මෙම පැමිණිල්ලේ වගඋත්තරකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නම් කර ඇති අතර, පැමිණිලිකරු ලෙස මේරි ලුවිස් ශිරන්ති රාජපක්ෂ නම් කර තිබෙනවා.

විදෙස්ගතව සිට යළි ලංකාවට පැමිණීමේ දී පොලිසිය විසින් ගුවන්තොටුපොළේ දී තමන්ව අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතිනු ඇති බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින ලෙස පැමිණිකාරිය සිය ඇප අයැදුම්පත්‍රයෙන් ඉල්ලා තිබෙනවා.