චීනයේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණික අභිලාෂයන්ට බලපෑම් එල්ල කරමින්, ලොව ප්‍රධාන පෙළේ අර්ධ සන්නායක නිෂ්පාදන සමාගම් දෙකක් චීන පාරිභෝගිකයන් වෙත සිදුකරන ඇතැම් චිප් සැපයුම් අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව, තායිවාන අර්ධ සන්නායක නිෂ්පාදන සමාගම හෙවත් TSMC සහ දකුණු කොරියාවේ සැම්සුන් සමාගම, චීනයට යවන චිප් තොග සඳහා ඇමෙරිකානු රජයෙන් අපනයන බලපත්‍ර ලබාගැනීමට සිදුවීම හේතුවෙන් සැපයුම් ප්‍රමාද කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව මේ සතියේ හඳුන්වා දුන් නව නීති අනුව, චීන ඇණවුම් සඳහා චිප් නිෂ්පාදකයන්ට ඇමෙරිකානු අවසරය ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා.
මීට පෙර තෙවන පාර්ශ්ව හරහා චිප් ලබාගැනීමෙන් හෝ ඒවා ස්මාර්ට් ජංගම දුරකථන වැනි කෘත්‍රිම බුද්ධියට සම්බන්ධ නොවන කටයුතු සඳහා යොදාගන්නා බව ප්‍රකාශ කිරීමෙන් සීමා මඟහැරීමට චීන සමාගම්වලට හැකියාව තිබුණි. නව නීති මගින් එම අවස්ථා ද අවහිර කර ඇති බවයි සඳහන් වන්නේ.
සැම්සුන් සමාගම චීනයේ බයිඩු සහ ටික්ටොක් හි මව් සමාගම වන බයිට්ඩෑන්ස් වැනි ආයතනවලට චිප් සපයන අතර, TSMC සමාගම ෂියාඕමි සමාගම සඳහා ස්මාර්ට් දුරකථන චිප් නිෂ්පාදනය කරනවා.
එමෙන්ම, වෙනත් රටවල දත්ත මධ්‍යස්ථාන හරහා බලවත් කෘත්‍රිම බුද්ධි චිප් කුලියට ලබාගැනීමේ හැකියාව ද නව ඇමෙරිකානු නීති මගින් චීන සමාගම්වලට අහිමි කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන තාක්ෂණික දැවැන්තයෙකු වන ටෙන්සන්ට් සමාගමේ සභාපති මාර්ටින් ලෝ පවසා ඇත්තේ මෙම තීරණය චීනයේ සමස්ත තාක්ෂණික ක්ෂේත්රයේ ප්‍රගතියට බාධාවක් වන බවයි.
නව සීමා හේතුවෙන් චීනයට සේවා සපයන ඇතැම් දත්ත මධ්‍යස්ථාන සමාගම්වල කොටස් මිල ද පහත වැටී තිබේ. ජපානයේ ඩේටාසෙක්ෂන් සමාගමේ කොටස් මිල සඳුදා සිට සියයට 47කින් පහත වැටී ඇති අතර, එහි වාර්ෂික ආදායම අපේක්ෂිත මට්ටමට වඩා සියයට 89කින් අඩු විය හැකි බව එම සමාගම අනතුරු අඟවා තිබෙනවා.
