Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නිල සංචාරයක් සඳහා තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දිවයිනට

නිල සංචාරයක් සඳහා තායිලන්ත රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය සිහාසක් පුආන්ග්කෙට්කියෝ දිවයිනට පැමිණියා.

විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර විසින් දිවයිනට පැමිණි තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.

තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා නොවැම්බර් 20 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතයි.

තායිලන්ත රජු මහා වජිරාලොන්ග්කෝර්න්ගේ රාජකීය නියෝජිතයා ලෙස පැමිණ සිටින ඔහු, අද දින මහනුවර අස්ගිරිය මහා විහාරයේ පැවැත්වෙන රාජකීය කඨින පින්කම සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා.

මෙම සංචාරය අතරතුර, ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමටත්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත් නියමිතයි.

දෙරට අතර සංචාර පහසු කිරීම සහ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින්, සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට අත්සන් තැබීම ඔහුගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් වනවා.