Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අග්‍රාමාත්‍යවරිය සහ කැනේඩියානු මහ කොමසාරිස්වරිය අතර හමුවක්

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඉසබෙල් මාටින් සහ එරට දූත පිරිස පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුව තිබෙනවා.

මහ කොමසාරිස්වරිය සහ දූත පිරිස උණුසුම් ලෙස පිළිගත් අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළා.

එමෙන්ම, දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ මාර්ගයක් ලෙස දෙරටේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම මහ කොමසාරිස්වරිය මෙහිදී පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාවේ සහ කැනඩාවේ විශ්වවිද්‍යාල අතර හවුල්කාරිත්වය වර්ධනය කිරීම තුළින් දෙරටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබෙනවා.

නිපුණතා සංවර්ධනය සහ දැනුම හුවමාරු කර ගැනීම ඇතුළුව වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරුණා.

එමෙන්ම, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ඉටුකරන සුවිශේෂී කාර්යභාරය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් කැනේඩියානු ආයෝජන වැඩි වශයෙන් මෙරටට ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාව තුළ පවතින උනන්දුව ද අග්‍රාමාත්‍යවරිය කැනේඩියානු මහ කොමසාරිස් හමුවේ පැහැදුවා.