Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මිලියන 47.6ක මුදලක් වංචා කළ චීන කටු වෙදෙක්ට අධිකරණයෙන් දඩ සහ අත්හිට වූ සිරදඬුවම්

ව්‍යාපාර කටයුත්තක් සඳහා යැයි වසමින් පන්නිපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් ලබාගත් රුපියල් මිලියන 47.6 මුදලක් ආපසු නොදී වංචා කිරීම සම්බන්ධයෙන් නඩු හතරකට අදාළව වරදකරු කෙරුණු චීන කටු චිකිත්සාව සම්බන්ධ වෛද්‍යවරයෙකුට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් මහතා විසින් අද (20) රුපියල් 476,0000ක දඩ මුදලක් නියම කළා.

එම නඩු හතරට අදාළව ලක්ෂ 08ක වන්දි මුදලක් ද අධිකරණයෙන් එම චූදිතයාට නියම කරනු ලැබුවා.

එමෙන්ම එක් එක් නඩුවට අදාළව මහේස්ත්‍රාත්වරයා විසින් අත්හිටවූ සිරදඬුවම් නියම කළා.

අංක 14, ග්‍රෙගරි පාර, කොළඹ 07 ලිපිනයෙහි පදිංචි කළුබෝවිල දුටුගැමුණු මාවත ප්‍රදේශයේ චීන කටු වෛද්‍ය සායනයක් පවත්වාගෙන යනු ලබන ප්‍රසාද් දේශප්‍රිය නමැති වෛද්‍යවරයෙකුට එසේ දඬුවම් නියම කරනු ලැබුවා.

එම නඩු හතරට අදාළව මහේස්ත්‍රාත්වරයා විසින් නියම කළ දඩුවම් මෙසේයි.

පළමු නඩුව වෙනුවෙන් මාස 06ක සිරදඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එය වසර 05කට අත්හිට වූ අතර රුපියල් ලක්ෂ 20ක දඩ මුදලක් ද රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ද නියම කළා.

දෙවන නඩුව අදාළව මාස 06ක සිරදඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එය වසර 05කට අත්හිට වූ අතර රුපියල් ලක්ෂ 20ක දඩ මුදලක් ද රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක්ද නියම කර සිටියා.

තෙවන නඩුවට අදාළව මාස 03ක සිරදඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එය වසර පහකට අත්හිට වූ අතර රුපියල් 360,000ක දඩ මුදලක්ද රුපියල් ලක්ෂ 02ක වන්දි මුදලක්ද නියම කළා.

සිව්වන නඩුවට අදාළව මාස 03ක සිරදඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එය වසර පහකට අත්හිට වූ අතර රුපියල් ලක්ෂ 04ක දඩ මුදලක්ද රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ද නියම කරනු ලැබුවා.

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ව්‍යාපාර හා ප්‍රවර්ධන කටයුතු සම්බන්ධ ව්‍යාපාරයක් පවත්වාගෙන යන පී සුදර්ශන මංගල නැමැත්තා ජීවන්ත ජයතිලක හා තිලංක පොල්ගම්පොළ යන නීතිඥවරුන් දෙපළ මගින් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පැමිණිල්ලි සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එම නියෝගය නිකුත් කළා.

ව්‍යාපාරිකයකු වන සුදර්ශන මංගල සිය නීතිඥවරු මඟින් පෞද්ගලික පැමිණිල්ලක් ගොනුකරමින් අධිකරණය හමුවේ කියා සිටියේ ඔහු කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයේ ව්‍යාපාර හා ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවයි.

එසේ ව්‍යාපාරය පවත්වාගෙන යන අතරතුර 2010 වසර දී විත්තිකාර වෛද්‍යවරයා හඳුනාගැනීමට ලැබුණු බවත්, ඔහු වෘත්තියෙන් චීනකටු ආශ්‍රිත ප්‍රතිකාරකම භාවිත කරමින් කළුබෝවිල, දුටුගැමුණු මාවත ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් සිටි බවද පැමිණිලිකරු නීතිඥවරු මගින් අධිකරණයට දැනුම්දී තිබුණා.

තමන් විත්තිකරු දැනහඳුනා ගැනීමෙන් අනතුරුව ඔහුගේ සේවා ස්ථානය වෙත අවස්ථා කිහිපයකදී ගිය බවත්, ඒ අවස්ථාවේදී විත්තිකරුගේ ව්‍යාපාර කටයුතුවලට බව පවසමින් නැවත ලබාදෙනා පොරොන්දුව මත අවස්ථා කිහිපයකදී ඔහු තමාගෙන මුදලක් ලබාගත් බවද ඔහුගේ පැමිණිල්ලේ සඳහන්.

2022 නොවැම්බර් මස සිට 2023 වසරේ මාර්තු මස දක්වා කාලය තුළ ඔහු තමාගෙන් එලෙස රුපියල් මිලියන 47.6ක මුදලක් ලබාගත් බවද පැමිල්ලිකරු පෙන්වාදී තිබුණා.

විත්තිකාර පුද්ගලයා තමන්ගෙන් ලබාගත් මුදලින් මිලියන 47.6 මුදලක් ගෙවීම සඳහා නුගේගොඩ පෞද්ගලික බැංකුවක ඔහුගේ නමින් තිබෙන ගිණුමක් හරහා තමාට චෙක්පත් පහක් ලබාදී තිබූ නමුත් එම චෙක්පත් පහම අගරුවී තිබූ බවද ඔහු පවසා තිබුණා.

එම සිද්ධියෙන් පසු විත්තිකරු පිළිබඳව සැකයක් ඇති වූ බැවින් තමන් විත්තිකරුට ලබාදී තිබූ සෙසු රුපියල් මිලියන 40ක මුදල නිරන්තරයෙන් ඉල්ලා සිටි බව ද ඒ අවස්ථාවේදී විත්තිකරු චෙක්පත් හතරක් ලබාදී තිබූ නමුත් ඉන් රුපියල් මිලියන විස්සක අගරු චෙක්පත් දෙකක් ලබාදී තමාව රැවටීමට ලක් කර ඇති බවද ඔහු නීතිඥවරු මගින් අධිකරණයට පෙන්වා දී තිබුණා.

විත්තිකාර වෛද්‍යවරයා තමාගෙන් රුපියල් මිලියන 47.6 ක මුදලක් ලබාගෙන අගරු චෙක්පත් ලබාදී වංචාවක් කර ඇති බැවින් තමාට එම මුදල් නැවත ලබාගැනීමට නියෝගයක් ලබාදෙන ලෙස හා සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද පැමිණිලිකරු සිය නීතිඥවරු වන ජීවන්ත ජයතිලක හා තිලංක පොල්ගම්පල යන මහත්වරු මගින් කරුණු දක්වමින් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.

වන්දි මුදල් ගෙවීම සඳහා මෙම නඩු පෙබරවාරි 02 වනදා නැවත කැඳවීමට නියමිත අතර, දඩ මුදල් ගෙවීම සඳහා මෙම නඩු මැයි 11 වනදා නැවත කැඳවීමට නියමිතයි.