Rajapura Handi Oil
Rajapura Diabetic Powder

වාද්දූවේ තියුණු ආයුධ ප්‍රහාර දෙකකට සම්බන්ධ වස්කඩුව ප්‍රවීන්ගේ සොහොයුරා ඇතුළු හතරක් STF දැලේ

වාද්දූව ප්‍රදේශයේ දී කාන්තාවකට සහ පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධීන් දෙකට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් නෙළුව සහ වාද්දූව ප්‍රදේශවල සිදුකළ වැටලීම් කිහිපයක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය නොවැම්බර් 14 වන දින වාද්දූව, පොහොද්දරමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට ධිරන්කන්ද මාවතේ පාලම අසලදී සහ පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ඔහුගේ නිවසටම ඇතුළු වී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුධවලින් පහර දී බරපතළ තුවාල සිදුකර තිබුණා.

මෙම අපරාධ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව නෙළුව, ඉහළ මද්දේගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අපරාධයේ ප්‍රධාන සැකකරුවෙකු ‘පූපුවා’ නමැත්තා අයිස් මත්ද්‍රව්‍ය ද සමඟ අත්අඩංගුවට ගැනුණා.

මොහු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සැඟව සිටින ‘වස්කඩුව ප්‍රවීන්’ යන අයගේ සහෝදරයා බවට අනාවරණය වී තිබෙනවා.

එම ප්‍රදේශයේම සිදුකළ තවත් වැටලීමකදී අපරාධයෙන් පසු අදාළ සැකකරුට සැඟව සිටීමට රැකවරණය හා ආධාර අනුබල ලබාදුන් 38 හැවිරිදි නෙළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර, වාද්දූව පොලිස් වසමේ රන්නුංගල ප්‍රදේශයේ සිදුකළ වැටලීම් දෙකක දී අපරාධයට සෘජුවම සහාය දැක්වූ සහ තියුණු ආයුධ සඟවා තබාගත් 32 හැවිරිදි වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ 25 හැවිරිදි පොතුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් හැකිව තිබෙනවා.

එම සැකකරුවන් සන්තකයේ තිබී කඩු 05ක්, අපරාධය සඳහා යොදාගත් බවට සැකකෙරෙන අනන්‍යතාවය තහවුරු නොවූ යතුරුපැදියක්, සම්පූර්ණ මුහුණු ආවරණය කරන ලද ආරක්ෂිත හිස්වැසුම් 02ක්, අපරාධය සිදුකිරීමේදී හැඳ සිටි බවට සැකකෙරෙන ඇඳුම් ආයිත්තම් සහ ස්මාර්ට් ජංගම දුරකථන 02 ක් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වැඩිදුර විමර්ශන සඳහා නෙළුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, සෙසු සැකකරුවන් තිදෙනා වාද්දූව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.