Rajapura Handi Oil
Rajapura Diabetic Powder

සංවිධානාත්මක අපරාධ වැළැක්වීම පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දෙයි

“සංවිධානාත්මක අපරාධ වැළැක්වීම” පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකවරයා විසින් අද (21) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.

එය මෙසේයි,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද, “සංවිධානාත්මක අපරාධ වැළැක්වීම” (Prevention of Organised Crimes) නම් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මට ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි.
ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ පහත පරිදිය:

• “සංවිධානාත්මක අපරාධ වැළැක්වීම” (L.D.O. 10/2026) නම් පනත් කෙටුම්පතෙහි අඩංගු වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන අතර, කාරක සභා අවස්ථාවේදී එකල වැඩබලන නීතිපතිතුමා විසින් සිදුකිරීමට එකඟ වූ සංශෝධන සහ අධිකරණය විසින් නියම කරන ලද සංශෝධන ඇතුළත් කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් එය සම්මත කර ගත හැකි බවයි.
• එකල වැඩබලන නීතිපතිතුමා විසින් එකඟ වූ පරිදි, පනත් කෙටුම්පතෙහි දීර්ඝ නාමය, ප්‍රස්තාවනාව සහ 2, 3, 4, 5, 7, 8, 9, 10, 11, 12, 14, 15, 16, 17, 20, 21, 23, 24, 25, 29, 30, 31, 32, 33, 34, 36, 37, 39, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 57, 58, 61, 62, 63, 64, 65 සහ 66 යන වගන්ති කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කළ යුතු බවයි.
• එකල වැඩබලන නීතිපතිතුමා විසින් එකඟ වූ පරිදි, 6 වන වගන්තිය පනත් කෙටුම්පතෙන් ඉවත් කළ යුතු අතර, පළමු උපලේඛනයෙන් 15, 16, 17 සහ 33 යන අයිතමයන් ඉවත් කළ යුතු බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ තීරණය අද දින කටයුතු පිළිබඳ නිල වාර්තාවේ මුද්‍රණය කිරීමට මම නියම කරමි.