සියලු දරුවන්ට එකම අධ්‍යාපන මාර්ගයකින් ඉදිරියට යාමට සිදුවන සාම්ප්‍රදායික ක්‍රමවේදය වෙනස් කරමින්, දරුවන්ගේ සහජ හැකියාවන්, කැමැත්ත හා අභිලාෂයන් හඳුනාගෙන, ඒ අනුව තම අනාගතය හැඩගැස්වීමට අවශ්‍ය විවිධ අධ්‍යාපන හා වෘත්තීය මාර්ග තෝරාගැනීමේ අවස්ථා පුළුල් කිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්රමුඛ අරමුණක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
2026 නොවැම්බර් 21 වන දින ඉසුරුපාය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති ජාතික වෘත්තීය නිපුණතා ප්‍රවර්ධන වැඩසටහනේ (Door to Door Skill Campaign) සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා.
රැකියා විරහිත හෝ සාමාන්‍ය අධ්‍යාපන මාර්ගය ඔස්සේ ඉදිරියට යාමට නොහැකි වූ තරුණ තරුණියන්ගේ සහජ හැකියාවන් හඳුනාගෙන, ඒවා රැකියා වෙළෙඳපොළට ගැළපෙන වෘත්තීය නිපුණතා බවට වර්ධනය කිරීමේ අරමුණින්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන අංශය විසින් සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ද සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.
දිවයිනේ සියලු ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි, ගමින් ගමට හා ගෙයින් ගෙට ගොස් තරුණ තරුණියන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන් දැනුවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අංගයක්.
ඒ ඔස්සේ තරුණ තරුණියන්ගේ කැමැත්ත, සහජ දක්ෂතා සහ හැකියාවන් හඳුනාගෙන, ඒවාට ගැළපෙන වෘත්තීය පුහුණු අවස්ථා වෙත යොමු කිරීම අපේක්ෂා කෙරෙනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, සාමාන්‍ය අධ්‍යාපන මාර්ගයෙන් ඉදිරියට යාමට නොහැකි වූ හෝ රැකියා අවස්ථා සොයමින් සිටින තරුණ තරුණියන්ගේ සහජ හැකියාවන් හඳුනාගෙන, ඒවා රැකියා වෙළෙඳපොළට ගැළපෙන වෘත්තීය නිපුණතා බවට පරිවර්තනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ‘Door to Door Skill Campaign’ ජාතික වැඩසටහන වැදගත් පියවරක් බවයි.
මෙරට සමස්ත විරැකියා අනුපාතය පහළ යාම යහපත් ප්‍රවණතාවක් වුවද, තරුණ විරැකියාව තවමත් සැලකිය යුතු අභියෝගයක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, රටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තරුණ පරපුර ආර්ථික ක්‍රියාකාරකම් හා රැකියා වෙළෙඳපොළ වෙත සක්‍රීයව සම්බන්ධ කරගැනීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළා.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය පමණක් රැකියා හා වෘත්තීය අවස්ථා වෙත පිවිසීමේ එකම මාර්ගය නොවන බවත්, වෙනස්වන ගෝලීය රැකියා වෙළෙඳපොළට ගැළපෙන නිපුණතා වර්ධනය කරගැනීම සඳහා වෘත්තීය අධ්‍යාපනය ඇතුළු විකල්ප මාර්ග රැසක් පවතින බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා.
ඒ අනුව, දරුවන්ට තම හැකියාවන් හා කැමැත්ත අනුව අනාගත අධ්‍යාපන හා වෘත්තීය මාර්ග තෝරාගැනීමට අවශ්‍ය අවස්ථා, මඟපෙන්වීම සහ සහාය ලබාදීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්රමුඛ අරමුණක් බව ද ඇය පැවසුවා.
වෘත්තීය අධ්‍යාපනයේ සුවිශේෂීත්වය වන්නේ රැකියා වෙළෙඳපොළේ වෙනස්වන අවශ්‍යතාවන්ට කඩිනමින් හා නම්‍යශීලීව ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, ඒ වෙනුවෙන් වෘත්තීය පුහුණු අවස්ථා පුළුල් කිරීම, පුහුණු ආයතන පද්ධතිය සංවර්ධනය කිරීම මෙන්ම පාසල් අධ්‍යාපනය තුළට වෘත්තීය දැනුම හා කුසලතා හඳුන්වාදීම සඳහා රජය පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළා.
කර්මාන්ත ක්ෂේත්රය තුළ පුහුණු හා නිපුණතා සහිත ශ්‍රමිකයන් සඳහා ඉල්ලුමක් පවතින නමුත්, එම රැකියා අවස්ථා සහ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් අතර සම්බන්ධතාව ගොඩනැඟීමේ අවශ්‍යතාවක් පවතින බව ද ඇය පෙන්වා දුන්නා.
වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ තොරතුරු තරුණ ප්‍රජාව වෙත සෘජුවම ගෙන යමින්, ඔවුන් දැනුවත් කිරීමෙන් අනතුරුව රැකියා හා ආර්ථික ක්‍රියාකාරකම් වෙත යොමු කිරීම ‘Door to Door Skill Campaign’ වැඩසටහනේ තවත් ප්‍රධාන අරමුණක් බව අග්‍රාමාත්‍යවරිය පැවසුවා.
තරුණ තරුණියන් වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ දැනුවත් කිරීමෙන් පමණක් සීමා නොවී, එම අවස්ථා ප්‍රායෝගිකව ප්‍රයෝජනයට ගනිමින් නිපුණතා වර්ධනය කර, රැකියා හා ආර්ථික ක්‍රියාකාරකම් වෙත පිවිසීමෙන් රටේ නිෂ්පාදන ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් ලබාදීම මෙම ජාතික වැඩසටහනේ අපේක්ෂිත ප්‍රතිඵලය බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා.










