කඩිගමුවේ දී පීලි පැන්න දුම්රිය යළි පීලිගත කිරීම ඇරඹේ – දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් චෝදනාවක්

අද (05) අලුයම පීලි පැනීමට ලක්වූ පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය මේ වන විට පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

කාර්යාල දුම්රියක් ලෙස ධාවනය කළ මෙම දුම්රිය අද (05) අලුයම 4.40ට පමණ උඩරට දුම්රිය මාර්ගයේ ගංගොඩ සහ කඩිගමුව දුම්රිය ස්ථානය පීලි පැනීමකට ලක්ව තිබුණා.

ඒ, දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළී තිබීම හේතුවෙන් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබූ අතර, පීලි පැනීමට ලක් වූ දුම්රිය පීලිගත කිරීමට අමතරව එම අනතුර සිදුවූ ස්ථානයේ දුම්රිය ධාවනයට සුදුසු පරිදි සකස් කිරීමේ කටයුතුද මේ වන විට ආරම්භ කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ, අනුව කඩිනමින් එම මාර්ගයේ යළි දුම්රිය ධාවනය සඳහා විවෘත කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය චෝදනා කරන්නේ ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අවසරයකින් තොරව උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ආරම්භ කර ඇති බවයි.

පසුගිය වසරේ බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් උඩරට දුම්රිය මාර්ගයට සිදුවූ හානියෙන් පසු එම දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ අතර දුම්රිය ධාවනය පසුගිය 02 වනදා යළි ආරම්භ වුණා.