තායිලන්තයේ පැවති ආසියානු ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා දින තුනක් ඇතුළත, ජාත්‍යන්තර කායවර්ධන ශූර සජාද් ජවාද් වයස අවුරුදු 30 දී මිය යාම හේතුවෙන් ඉරාකයේ ක්‍රීඩා ලෝලීහු ශෝකයට පත්ව සිටිනවා.
ජවාද්ගේ මරණය පිළිබඳ පුවත ඉරාක කායවර්ධන සහ යෝග්‍යතා සම්මේලනය (IBFF) විසින් බ්‍රහස්පතින්දා නිවේදනය කළ බව ඉරාක මාධ්‍ය වාර්තා කරනවා.
“ඉරාක ජාත්‍යන්තර කායවර්ධන ශූර සජාද් ජවාද් අභාවප්‍රාප්ත වී ඇත,” යැයි IBFF හි ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉරාක පුවත් ඒජන්සිය වාර්තා කළා.
කෙසේ වෙතත්, ඔහුගේ මරණයට හේතුව හෝ ඒ සිදුවූ ආකාරය පිළිබඳව එහි වැඩිදුර විස්තරයක් දක්වා නොතිබුණි.
මීට පෙර එම තරඟාවලියේම කිලෝග්‍රෑම් 90 බර පන්තිය යටතේ 11 වන ස්ථානයට පත්ව සිටි ජවාද්, මෙවර තරඟාවලියේදී රන් පදක්කම දිනා ගැනීමත් සමඟ රට පුරා එය මහත් උත්සවශ්‍රීයෙන් සැමරීමට කටයුතු යොදා තිබුණා.
ජාතික මාධ්‍ය වාර්තා කරන පරිදි, ඔහු සිය කෙටි ක්‍රීඩා දිවිය තුළ මහාද්වීපික සහ ජාතික මට්ටමේ තරඟ කිහිපයකදීම ඉරාකය නියෝජනය කර තිබෙනවා.
ජවාද් ජයග්රහණයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අවසන් සටහනට ප්‍රතිචාර දක්වමින් සිය ගණනක් දෙනා අදහස් දක්වා ඇති අතර, එහිදී බොහෝ රසිකයින් ඔහුගේ මරණය පිළිබඳව දැඩි කම්පනය පළ කර තිබෙනු දක්නට ලැබෙනවා.
එයින් බොහෝ දෙනෙකු පෙන්වා දී තිබුණේ, ජාතික මට්ටමේ සැමරුමක් පැවති වාතාවරණය දින කිහිපයක් ඇතුළත මෙලෙස ශෝකයක් බවට පත් වූ ආකාරයයි.










