අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ආචාර්ය නන්දා මාලනීයගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
ඒ මඟින් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ නන්දා මාලනීය පොදු ජනතාවගේ දුක, බිය, අයිතිවාසිකම් සහ අරගලය සිය ගීත මඟින් හඬගා කීමට නිර්භය වූ බවයි.
එමෙන්ම ශාස්ත්‍රීය සංගීතයේ පැවැති ගැඹුරු ප්‍රගුණත්වයත්, අසමසම හඬ පෞරුෂයත් නිසාම ඇය ලැබූ සම්මාන හා ගෞරවයට වඩා, පරම්පරා ගණනාවක හදවත් තුළ තැන්පත් වූ අප්‍රමාණ ආදරය ඇගේ සැබෑ කලා මෙහෙවරේ වටිනාකම කියාපාන බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙනවා.
අග්‍රාමාත්‍යවරිය විසින් නිකුත් කළ ශෝක පණිවිඩය සම්පූර්ණ උපුටා පහතින්,
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ අසමසම ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ, දශක අටකට ආසන්න කාලයක් සිය අද්විතීය ගායන පෞරුෂයෙන් මෙරට සංස්කෘතික හා සමාජීය ක්ෂේත්රයන් පෝෂණය කළ ප්‍රවීණ සංගීත වේදිනී, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත අසා මම දැඩි කම්පනයටත්, සංවේගයටත් පත් වූයෙමි.
නන්දා මාලනී මහත්මියගේ සුමධුර ගී හඬින් පෝෂණය වෙමින්, ඒ ගීත සමඟ ජිවිතයේ විවිධ සංධිස්ථාන පසු කළ ආදරණීය රසිකාවියක ලෙස, එතුමියගේ නික්ම යාම මට දැනෙන්නේ හුදෙක් වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි අපේ ජිවිත වලට සමීපව, අතීත මතකයන් සමඟ තදින් බැඳී, සතුටේදී මෙන්ම වේදනාවේදීත් අපට සැනසීම දුන් හුරු පුරුදු මාතෘ හඬක් අපෙන් වෙන්ව යාමක් ලෙසය.
ළමා වියේදී ” බුදු සාදු මම සඳුන් ගසක් වෙන්නම්” ගීතයෙන් සංගීත ක්ෂේත්රයට පා තැබූ ඇය, ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමර දේවයන්ගේ ගුරුහරුකම් ලබමින් ” රන්මුතු දූව ” චිත්‍රපටය ඔස්සේ සිනමා ගීත කලාවට පිවිසියා ය.
දශක ගණනාවක් පුරා එතුමියගේ හඬ අපේ නිවෙස්වල, පාසල් වියේ, ජාතික උත්සවවල මෙන්ම අපගේ දෛනික ජිවිතයේද අනුපමේය කොටසක් බවට පත් විය.
එතුමියගේ ගායන දිවිය මෙරට ගීත කලාවේ එක් යුගයක් සනිටුහන් කළා පමණක් නොව, සමාජ චලනයන්ගේත්, මානව හැඟීම් වලත් සජීවී ප්රකාශනයක් විය. ප්‍රේමය හා විරහව වැනි සුන්දර මනුෂ්‍ය හැඟීම් ගැයීමට එහා යමින්, පොදු ජනතාවගේ දුක, බිය, අයිතිවාසිකම් සහ අරගලය සිය ගීත මඟින් හඬගා කීමට ඇය නිර්භය වූවාය.
අයුක්තිය ඉදිරියේ නිහඬ නොවෙමින්, සාමය, සහජීවනය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් සිය පෞරුෂවත් හඬ මෙහෙය වූවාය. “පවන” සහ ” සත්‍යයේ ගීතය’ වැනි විප්ලවීය නිර්මාණ ඔස්සේ, කලාකරුවෙකුට සමාජයක සංවේදීතාව අවදි කරමින් යහපත් හෙට දවසක් වෙනුවෙන් මඟ පෙන්විය හැකි බව ඇය ප්රායෝගිකවම ඔප්පු කළාය.
ශාස්ත්‍රීය සංගීතයේ පැවැති ගැඹුරු ප්‍රගුණත්වයත්, අසමසම හඬ පෞරුෂයත් නිසාම ඇය ලැබූ සම්මාන හා ගෞරවයට වඩා, පරම්පරා ගණනාවක හදවත් තුළ තැන්පත් වූ අප්‍රමාණ ආදරය ඇගේ සැබෑ කලා මෙහෙවරේ වටිනාකම කියාපායි.













