spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නොකළ වරදකට සිරගත වූ දියණිය (වීඩියෝ)

කහවත්ත, වෙලේවත්ත ප්‍රදේශයේ සිදු වූ 71 හැවිරිදි කාන්තාවගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් ඇයගේ දියණිය එම ඝාතනයට සම්බන්ධයක් නොමැති බවට අනාවරණය වී ති‌බෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් ප්‍රදේශයේ පෙදරේරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් විමක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවටයි තොරතුරු අනාවරණය වුණේ.

කහවත්ත, වැල්ලඳුර, ප්‍රදේශයේ 71 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ පොලිස් අත්අඩංගුවට ගැනීම් මේ වන විට මහත් ආන්දෝලනයකට ලක්වෙලා තියෙනවා. ඒ, මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ අවිවාහක දියණිය සැකපිට අත්අඩංගුවට ගැනීම හේතුවෙන්. පසුගිය 15 වැනිදා 38 හැවිරිදි මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය සඳහන් කර තිබුණේ ඝාතනය සිදු වූ දින ඇය ප්‍රමාද වී රාජකාරියට පිටත්ව යාම සහ අවට ප්‍රදේශවාසීන්ගෙන් ලබාගත් තොරතුරු මත මතු වූ සැකය හේතුවෙන් ඇය අත්අඩංගුවට ගත් බවයි.

මේ සම්බන්ධයෙන් විමර්ශන දියත් කළ පොලිස් නිලධාරීන් ඝාතනයට ලක් වූ කාන්තාවගේ නිවස අවට පදිංචිව සිටි ප්‍රදේශවාසීන්ගෙන් කරුණු සටහන් කර ගැනීමේදී ඔවුන් විසින් මෙම නිවසේ නිතර අඩදබර සිදුවන බවට තොරතුරු ලබාදී තිබූ බවටයි වාර්තා වුණේ.

එමෙන්ම ඝාතනයට ලක් වූ කාන්තාවගේ සිරුර ආසන්නයේ ඇයගේ දියණියගේ අත් ඔරලෝසුවක් තිබී හමු වූ බවත් පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

මෙලෙස ඉදිරිපත් කළ කරුණු අනුවයි අත්අඩංගුවට ගත් කාන්තාව සති දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.

කෙසේ වෙතත් ඇයගෙන් දිගින් දිගටම සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය ස්ථිරසාරවම පවසා ඇත්තේ මෙම ඝාතනය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි. දියණිය විසින් මෙම ඝාතනය සිදු කළ බවට ඔප්පු කිරිම සදහා ප්‍රමාණවත් සාක්ෂි හමු නොවීම හේතුවෙන් පොලිසිය විසින් වෙනත් හෝඩුවාවන් ඔස්සේ විමර්ශන දියත් කරනු ලැබුවා.

ඒ අනුව විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන්ගේ අවධානය ප්‍රදේශයේ පදිංචිව සිටින පෙදරේරුවෙකු වෙත යොමු වන්නේ ඝාතනයට ලක් වූ කාන්තාවගේ ජංගම දුරකථනය ඔස්සේ සිදුකළ විමර්ශන හරහායි.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී අදාළ පෙදරේරුවා හට ඝාතනයට ලක් වූ කාන්තාව විසින් දුරකථන ඇමතුම් 9ක් ලබාදී ඇති බව හෙළිවනවා.

කෙසේ වෙතත් ඒ ඇමතුම් අතරින් සැකකටයුතු පෙදරේරුවා විසින් ප්‍රතිචාර දක්වා ඇත්තේ එක් දුරකථන ඇමතුමකට පමණයි.

මේ සැකය ඔස්සේ පරීක්ෂණ දියත් කළ කහවත්ත පොලිසිය සැකකාර පෙදරේරුවා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරනවා. මෙම කාන්තාව ඝාතනය කර ඇත්තේ මෙම පෙදරේරුවා විසින් බව හෙළිවන්නේ මෙම ප්‍රශ්න කිරීම් වලදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් කහවත්ත පොලිසිය පවසන්නේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මරණකාරිය‍ගේ දියණිය ඊට සම්බන්ධ නොමැති බැවින් ඇය නිදහස් කරන ලෙසයි.

පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවේ සිය ස්ථාවරය වෙනස් කරන කහවත්ත පොලිසියේ විමර්ශන නිලධාරීන් පවසන්නේ සැකකාරිය අත්අඩංගුවට ගැනීමට මූලික වශයෙන් පාදක වූයේ විමර්ශණවල දී අසල්වැසියන් ලබාදුන් ප්‍රකාශ බවයි.

එමෙන්ම කොටකෙතන කාන්තා ඝාතන රැල්ල ඇති වූවා මෙන් සමාජයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවිමට ඉඩ තිබීම සහ එම තරුණියගේ ආරක්ෂාවද සැලකිල්ලට ගනිමින් ඇය අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලිසිය මෙහිදී මහෙස්ත්‍රාත්වරයා හමුවේ වැඩිදුරටත් සඳහන් කළා.

එම කරුණු සළකා බැලූ පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඝාතනයට ලක් වූ කාන්තාවගේ දියණිය නිදහස් කිරීමටයි.

අත්අඩංගුවට ගත් පෙදරේරුවා මියගිය කාන්තාවගේ නිවසේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා පසුගිය ජුනි මාසයේ මෙම නිවසට පැමිණ තිබූ බවටයි විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත්තේ.

එහිදී නිවසේ තිබූ රන්භාණ්ඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් කාන්තාව විසින් සැකකරුගෙන් විමසා ඇති අතර, පසුව රන් භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් ඔහු වරද පිළිගෙන ඇත්තේ එහි වටිනාකම ගෙවන බවට පොරොන්දු වෙමින්.

කෙසේ වෙතත් පොරොන්දු වූ පරිදි මුදල් ලබා නොදීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කරන බව මියගිය කාන්තාව දුරකථනය ඔස්සේ සැකකරුට දැනුම් දී ඇති බව වාර්තාවනවා.

ඉන් පසු පසුගිය 13 වැනි දා සැකකරු ඝාතනයට ලක් වූ කාන්තාවගේ නිවසට පැමිණ ඇති අතර, එහි දී දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමකින් පසු මෙම ඝාතනය සිදු ව ඇති බවට කහවත්ත පොලීසිය මහෙස්ත්‍රාත්වරයා හමුවේ කරුණු වාර්තා කළා.

ඝාතනය වසන් කිරිම සදහා ඉණිමගකින් ඇය වැටී තහඩුවකට ගෙල කැපී ඇති බවට ඇගවීම උදෙසා සැකකරු කටයුතු කර තිබුණා.

ඝාතනය සිදුකළ ස්ථානයේ තිබූ ලේ පැල්ලම් සෝදා හැර ඇති බවටද විමර්ශනවලදි අනාවරණය වි තිබෙනවා.

ඝාතනය සඳහා යොදාගත් පිහිය ද පොලීසිය විසින් ප්‍රදේශයේ ලඳු කැලෑවක සඟවා තිබිය දී සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීමේ ‌ඛේදනීය පැතිකඩක් වන්නේ විමර්ශන නිලධාරීන්ගේ නිසි සොයා බැලීමකින් තොර උපකල්පන ඔස්සේ සිදුකෙරුණු අත්අඩංගුවට ගැනීමක් හරහා මෙම කාන්තාවට මව ඝාතනය කළ දියණියක් වශයෙන් සමාජය හමුවේ වරදකාරියක වන්නට පසුබිම සැකසීමයි.

සිය මව තමන්ට අහිමි වූ මොහෙතක ඇගේ ඝාතනය වෙනුවෙන් නොකළ වරදකට රක්ෂිත බන්ධනාගාර ගතවිමට සිදු වීම කෙතරම් ‌ඛේදජනකද?

  1. ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවෙකු හෝ සැකකාරියක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේදී සලකා බැලිය යුතු මූලික කරුණු මොනවාද?
  2. වැරදි සහගත අත්අඩංගුවට ගැනීමකින් පසු එය නිවැරදි කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?
     
  3. මෙම අත්අඩංගුවට ගැනීම ඇයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්ද?
  4. පොලිසිය විසින් මේ ආකාරයේ වැරදි සහගත අත්අඩංගුවට ගැනීම් සිදුකළ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර සේයා සදෙව්මි ඝාතනයේත් මේ ආකාරයටම වැරදි සහගත අත්අඩංගුවට ගැනීම් සිදුකෙරුණා. මේවා වළක්වා
    ගන්නේ කොහොමද?
  5. මේ ආකාරයේ සිදුවීම් ඇතැම් ජනමාධ්‍ය අනවශ්‍ය උලුප්පා දැක්වීම් හරහා ඝාතනය දියණිය විසින්ම සිදුකළ බවට සමාජගත කිරීමට උත්සාහ කළා. එය කොතෙක් දුරට සදාචාරාත්මකද?
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
8
+1
1
+1
2
+1
33
+1
5
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?