ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයාට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයා ඇප මත මුදාහැරිිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (29) නියෝග කළා .

සැකකරුට ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කරනු ලැබුවා.

සිය නිල බලය අයුතු ලෙස යොදා ගනිමින් රජයේ ඉඩමක් පෞද්ගලික පාර්ශ්වයක් සතු ඉඩමක් ලෙස පෙන්වා රජයට පාඩුවක් සහ වෙනත් පාර්ශ්වයකට වාසියක් සිදු කිරීමේ චේතනාවෙන් කටයුතු කළ බව කියන සිද්ධියට ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ විමර්ශන කොමසාරිස්වරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (විමර්ශන) ලෙස කටයුතු කළ අයෙක්.

සැකකරු විසින් ආයතනයේ ලිපි ශීර්ෂ භාවිත කර, විධිමත් නොවන විමර්ශන අංකයක් යටතේ නිකුත් කරන ලද ව්‍යාජ විමර්ශන වාර්තාවක් මගින් මෙම වංචාව සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වාර්තා වෙනවා.

බොරැල්ල එලියට් පාර පිහිටි, ප්‍රමාණයෙන් හෙක්ටයාර් 1.0982ක් වන සහ රුපියල් 1,586,000,000.00ක (බිලියන 1.5කට අධික) වෙළපොළ වටිනාකමකින් යුත් රජයේ ඉඩමක් මෙලෙස පෞද්ගලික ඉඩමක් ලෙස හැඳින්වීම මඟින් රජයට පාඩුවක් සිදු කිරීමට මෙම සැකකරු උත්සාහ කර ඇති බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්