ලෝක ඖෂධවේදීන්ගේ දිනයට සමගාමීව ක්‍රියාකාරී ඖෂධවේදීන්ගේ සංගමය සංවිධානයකළ APPCON 2026 වාර්ෂික අධ්‍යයන සැසිවාරය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි පරිවර්තනය මෙන්ම රටේ නව ආර්ථික මාවත් විවර කිරීමේදී ඖෂධවේදීන්ට විශාල වගකීමක් – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස.
සෑම වසරකම සැප්තැම්බර් 25 දින සැමරෙන ලෝක ඖෂධවේදීන්ගේ දිනයට සමගාමීව ඖෂධවේදීන්ගේ වෘත්තීය දැනුම හා නිපුණතා අඛණ්ඩව යාවත්කාලීන කිරීම, වෘත්තීය ප්‍රමිතීන් තවදුරටත් ශක්තිමත් කිරීම, වෘත්තීය සහයෝගීතාව පුළුල් කිරීම සහ නවීන සෞඛ්‍ය සේවා පද්ධතියේ අනාගත අවශ්‍යතාවන්ට සරිලන පරිදි මෙරට ඖෂධවේදී වෘත්තියේ ඉදිරි ප්‍රගමනය සඳහා නව අවකාශ හඳුනාගැනීම අරමුණු කරගනිමින් ක්‍රියාකාරී ඖෂධවේදීන්ගේ සංගමය (Association of Practicing Pharmacists – APP) විසින් සංවිධානය කරන ලද APPCON 2026 වාර්ෂික අධ්‍යයන සැසිවාරය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා.
“Empowering Pharmacists for Healthier Futures – සෞඛ්‍ය සම්පන්න අනාගතයක් උදෙසා ඖෂධවේදීන් සවිබලගැන්වීම” යන තේමාව යටතේ පැවැති APPCON 2026 තුළදී ඖෂධවේදීන්ගේ වෘත්තීය දැනුම, කුසලතා හා නිපුණතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීම, නවතම විද්‍යාත්මක දැනුම හා පර්යේෂණ තොරතුරු හුවමාරු කරගැනීම, වෘත්තීය අත්දැකීම් හුවමාරුව මෙන්ම මෙරට ඖෂධවේදී වෘත්තියේ අනාගත ප්‍රගමනයට අදාළ කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා.
එමෙන්ම මෙම වාර්ෂික අධ්‍යයන සැසිවාරය මගින් ඖෂධවේදී වෘත්තියේ වර්තමාන ප්‍රවණතා, නවීන විද්‍යාත්මක දියුණුව, වෘත්තීය අභියෝග සහ අනාගත දිශානතිය පිළිබඳව විද්වත් හා වෘත්තීයමය සංවාදයකට අවකාශ සැලසුණා.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, මෙම අවස්ථාව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්තමාන ස්වභාවය, එහි සිදුවෙමින් පවතින පරිවර්තනය සහ ඉදිරි ගමන් මඟ පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැකි සුවිශේෂී අවස්ථාවක් බව ද පැවසුවා.
නිරවුල් දැක්මකින්, නිශ්චිත සැලසුමකින් සහ අනාගත අරමුණු සහිත ප්‍රවේශයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් අතීතයේදී සෞඛ්‍ය පද්ධතිය ඉදිරියට ගෙන යාමේදී විවිධ බාධාවන්ට මුහුණදීමට සිදුව ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පසුගිය දෙවසර තුළ තමන් අමාත්‍යවරයා ලෙසත්, අමාත්‍යාංශය ලෙසත්, රජය ලෙසත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ කිසිදු තීරණයක් සැලසුමකින්, ප්‍රතිපත්තිමය දැක්මකින් සහ අනාගත අවශ්‍යතා පිළිබඳ අවබෝධයකින් තොරව ගෙන නොමැති බව අවධාරණය කළා.
මෙම වසර දෙක තුළ මෙන්ම ඉදිරි වසරේදීද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිකිරීම් හා යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සිදු කරනු ලබන්නේ පවතින අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන, එම අවශ්‍යතාවන්ට සරිලන පරිදි සෞඛ්‍ය පද්ධතියේ යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ සමස්ත සැලසුමකට අනුව බවද අමාත්‍යවරයා සඳහන් කරනු ලැබුවා.
ඒ අනුව, අතරමග නවතා දමා ඇති සහ අර්ධ වශයෙන් ඉදිකර ඇති සෞඛ්‍ය ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා ඉදිරි දෙවසර තුළ රුපියල් කෝටි 4,500කට ආසන්න මුදලක් වෙන් කිරීමට රජය සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සැබෑ අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් සීමිත සම්පත් උපරිම ප්‍රතිඵලදායක ලෙස යොදාගනිමින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙහි අරමුණ බවද හෙතෙම පෙන්වා දුන්නා
.
එමෙන්ම, පසුගිය වසර නවය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුව ඇති පුළුල්වීම, අලුතින් එක්ව ඇති අංශ හා ඒකක, විශේෂඥ වෛද්‍ය සේවා ඇතුළු නව සේවා ව්‍යාප්තිය සහ ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතාවන්හි සිදුව ඇති වෙනස්කම් සැලකිල්ලට ගනිමින්, 2027, 2028 සහ 2029 වසර සඳහා අනුමත කාර්ය මණ්ඩල සංඛ්‍යාව සංශෝධනය කිරීම සඳහා අදාළ අංශ හා ආයතන එක්ව කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම කාර්යය සෞඛ්‍ය පද්ධතියේ සමස්ත අවශ්‍යතාව සහ ජනතා සේවයේ ප්‍රමුඛතාව මත පදනම්ව සිදුකිරීම සඳහා පෞද්ගලික අභිලාෂයන්ගෙන් තොරව සියලු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසුවා.
සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ සියලු කටයුතු නිශ්චිත සැලසුමක්, ප්‍රතිපත්තිමය දැක්මක් සහ අනාගත ඉලක්කයක් සහිතව ක්‍රියාත්මක කරන බව අවධාරණය කළ අමාත්‍යවරයා, දේශපාලන අධිකාරිය ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ගමන් මඟ තවදුරටත් නිරවුල් කිරීම සහ එම ගමන් මඟට අවශ්‍ය ප්‍රතිපත්තිමය පදනම සකස් කිරීම සිදුකරමින් පවතින බවද සඳහන් කළා.
සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ඕනෑම පාර්ශ්වයකට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනාගතය කුමක්ද, එය ගමන් කරන්නේ කුමන දිශාවකටද සහ එම ගමන සඳහා තමන්ට දායක විය හැක්කේ කෙසේද යන්න පැහැදිලිව අවබෝධ කරගත හැකි වන පරිදි එම මාර්ගය නිවැරදිව හා නිරවුල්ව සකස් කරමින් පවතින බවද අමාත්‍යවරයා අවධාරණය කරනු ලැබුවා.
එවැනි පැහැදිලි ප්‍රතිපත්තිමය හා සැලසුම්ගත පරිසරයක් තුළ පෞද්ගලික අංශයටද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධනය සඳහා ඵලදායී ලෙස දායක වීමට අවස්ථාව සැලසෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, මෙරට දේශීය නිෂ්පාදකයන්ටද අනාගතය පිළිබඳ ස්ථිර විශ්වාසයකින් යුතුව සෞඛ්‍ය හා ඖෂධ ක්ෂේත්‍රය තුළ ආයෝජනය කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කමද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නා.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොව මෙරට ආර්ථිකයේ ඉදිරි අදියරද ඖෂධවේදීන්ගේ වෘත්තීය දායකත්වය සහ ඖෂධ ක්ෂේත්‍රයේ ප්‍රගතිය සමඟ දැඩි ලෙස බැඳී පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළා.
ඖෂධ කර්මාන්තයේ සංවර්ධනය, දේශීය ඖෂධ නිෂ්පාදනය පුළුල් කිරීම, ඖෂධවේදය ආශ්‍රිත පර්යේෂණ හා නවෝත්පාදන මෙන්ම ඒ ආශ්‍රිත දැනුම හා තාක්ෂණය වර්ධනය කිරීම රටේ ඉදිරි සෞඛ්‍ය හා ආර්ථික ප්‍රගතිය සඳහා වැදගත් පදනමක් වන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පෙන්වා දුන්නා.
මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ කණ්ඩායමක් ලෙස ජනතාවට උපරිම සේවාවක් සපයන ඖෂධවේදීන් මෙන්ම පෞද්ගලික අංශයේ, ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ, ආනයන ක්ෂේත්‍රයේ සහ පර්යේෂණ ක්ෂේත්‍රයේ නිරත සියලු ඖෂධවේදීන් තම වෘත්තියේ අනාගතය පිළිබඳව මෙන්ම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ගමන පිළිබඳවද ගැඹුරින් කල්පනා කරමින් වගකීමෙන් යුතුව කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසුවා.
මෙරට අනාගතය ගොඩනැගීමේදී ඖෂධවේදීන් වෙත නව මාවත් හඳුනාගැනීමේ සහ නව අවස්ථා නිර්මාණය කිරීමේ විශාල වගකීමක් පැවරෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙරට ආර්ථිකයට නව ශක්තියක් එක් කළ හැකි ක්ෂේත්‍ර හඳුනාගෙන ඒ සඳහා ඉදිරි පියවර තැබීම අත්‍යවශ්‍ය බවද සඳහන් කළේය. ඒ අනුව, ඖෂධ නිෂ්පාදන කර්මාන්තය මෙරටට නව ආර්ථික මාවත් විවර කරගත හැකි විභවතාවන් සහිත වැදගත් ක්ෂේත්‍රයක් බවද පෙන්වා දුන්නා.
රජයේ සෞඛ්‍ය දැක්ම අනුව ජනතාවට රෝග මුල් අවස්ථාවේදීම හඳුනාගැනීම, රෝග වළක්වා ගැනීම, හඳුනාගත් රෝග සඳහා කඩිනම් හා ගුණාත්මක ප්‍රතිකාර ලබාදීම මෙන්ම ජනතාව වෙත ලබාදෙන ඖෂධවල ගුණාත්මකභාවය, ආරක්ෂිත භාවිතය සහ ඒ සම්බන්ධයෙන් පවතින වැදගත් කරුණු පිළිබඳව නිවැරදි දැනුම ලබාදීමේ වැදගත්කමද අවධාරණය කර සිටියා.
එම සමස්ත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වයන් කණ්ඩායමක් ලෙස ඉටු කළ යුතු වගකීම අතිවිශාල බවද අමාත්‍යවරයා සඳහන් කළේය. සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ සිට ජනතාවට නිවැරදි සෞඛ්‍ය දැනුම ලබාදීම දක්වා සෑම අදියරකදීම ඖෂධවේදීන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය වන බවද පෙන්වා දුන්නා.
සෑම වෘත්තීය ක්ෂේත්‍රයක්ම එහි අනන්‍යතාව, වෘත්තීය අවශ්‍යතා සහ අනාගත අභියෝගවලට ගැළපෙන පරිදි සංවර්ධනය විය යුතු බවත්, ඒ සඳහා අධ්‍යාපනික, උසස් අධ්‍යාපනික සහ පශ්චාත් උපාධි අධ්‍යයන අවස්ථා පුළුල් කිරීම අත්‍යවශ්‍ය බවත් සඳහන් කළේය. එම පුළුල් දැක්ම සහිතව සෞඛ්‍ය වෘත්තීය ක්ෂේත්‍රයන්හි දැනුම, කුසලතා හා වෘත්තීය ප්‍රවීණත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වත්මන් රජය කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.
සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ ඖෂධවේදීන් විසින් ඉටුකරනු ලබන සුවිශේෂී හා වගකීම්සහගත කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කරමින්, ජනතාව වෙත ආරක්ෂිත, ගුණාත්මක හා කාර්යක්ෂම ඖෂධ සත්කාරයක් සහතික කිරීම සඳහා අවශ්‍ය වෘත්තීය දැනුම, තාක්ෂණික හැකියාවන් සහ වෘත්තීය ප්‍රමිතීන් අඛණ්ඩව සංවර්ධනය කරගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණා.
එමෙන්ම, රෝගී සත්කාරයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, ඖෂධ භාවිතයේ ආරක්ෂාව තහවුරු කිරීම, ඖෂධ සම්බන්ධ අවදානම් අවම කිරීම සහ රෝගීන්ට අවශ්‍ය වෘත්තීයමය ඖෂධ උපදේශන හා සත්කාර සේවා වඩාත් ශක්තිමත් කිරීම සඳහා ඖෂධවේදී වෘත්තියේ දායකත්වය පුළුල් කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා.
ජනතාවගේ සෞඛ්‍යය සුරක්ෂිත කිරීමේදී මෙන්ම සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේදී ඖෂධවේදීන් විසින් ඉටුකරනු ලබන අත්‍යවශ්‍ය කාර්යභාරය ඇගයීමට ලක් කරමින්, ක්ෂේත්‍රය තුළ විශිෂ්ට කුසලතා හා කැපවීමෙන් යුතුව දායකත්වය දැක්වූ ඖෂධවේදීන් ඇගයීමට හා සම්මානයට ලක් කිරීමද මෙහිදී සිදු කෙරුණා.
මෙම අවස්ථාවට ක්‍රියාකාරී ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති ගයනි නාගහගේ, ලේකම් බුද්ධික ආර්. ගොඩගේ, භාණ්ඩාගාරික නිලන්ත සිරිචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුළුව විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, එම සංගමයේ නිලධාරීන් හා සාමාජිකයින්, ඖෂධවේදී වෘත්තීයවේදීන් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වත් හා වෘත්තීයවේදීන් රැසක් එක්ව සිටියා.













