Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා මුදල් ඉපයීමේ මූල්‍ය ප්‍රතිපත්තිය (Monetization) ක්‍රියාත්මක වීමත් සමඟ, දෙමාපියන්ගේ අවසරය ඇතිව හෝ නැතිව දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට එක් කිරීමේ ප්‍රවණතාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය පවසනවා.
දරුවන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සහ ඔවුන්ගේ සුරතල් ක්‍රියාකාරකම් අගය කිරීම යන මුවාවෙන් විවිධ පුද්ගලයන් සහ ආයතන විසින් මෙම වීඩියෝ පට වාණිජ අරමුණු උදෙසා යොදාගන්නා බව තහවුරු වී තිබෙනවා.
මෙලෙස වීඩියෝ සහ Vlog සටහන් හරහා දරුවන්ගේ එදිනෙදා ජීවන රටාව බාහිර පාර්ශ්වයන් වෙත අනාවරණය වීමෙන්, ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව දැඩි අවදානමකට ලක්වන බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එමෙන්ම, අන්තර්ජාලයට එක්කරන මෙවැනි වීඩියෝ පට සහ ඡායාරූප මූලාශ්‍ර කරගනිමින්, කෘතිම බුද්ධිය (AI තාක්ෂණය) ඔස්සේ අසභ්‍ය දර්ශන නිර්මාණය කිරීමේ අවදානමක් ද මතුව පවතිනවා.
එබැවින්, මෙවැනි අනතුරුදායක තත්ත්වයන්ගෙන් තම දරුවන් ආරක්ෂා කරගැනීමට සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමේදී වඩාත් විමසිලිමත් සහ වගකීම් සහගත වන මෙන් දෙමව්පියන් ඇතුළු දරුවන්ගේ භාරය සහ ආරක්ශාව දරන්නන් වෙත අමාත්‍යාංශය දන්වා සිටිනවා.













