දූෂණ චෝදනා ත්‍රිත්වයක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති ඇන්තනි නිශාන්ත වික්රමසිංහට එරෙහිව පනවා ඇති නඩුවක් ජනවාරි 19 යළි කැඳවිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (29) නියෝග කළා.
සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.
සිද්ධියට අදාලව කරුණු දක්වමින් අල්ලස් කොමිසම පවසා සිටියේ කඩිනමින් විමර්ශන අවසන් කර අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවයි.
සිද්ධියට අදාළ සැකකරු අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
2025 ජුනි මස 27 වන දින නාවල ප්‍රදේශයේදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් සිද්ධියට අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබෙනවා.
2014.01.22 වන දින මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක UL319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මඟින් රජයට ඇ.ඩො. 4512 ක් පාඩු කිරීම පළමුවන චෝදනාව වනවන අතර 2014.01.26 වන දින මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටව යාමට සිටි මගින් 75 දෙනෙකු අංක UL563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මඟින් ඇ.ඩො. 19,160 ක් රජයට පාඩු කිරීම දෙවන චෝදනාව වනවා.
2014.12.19 වන දින කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ මුදල් 1,250,000/- වියදම් කිරීම යන චෝදනා තුන යටතේ නඩු පවරා තිබුණා.













