අපි මැරිල කියලද උඹල හිතන් ඉන්නේ. හැබැයි අපි තාම මැරිල නැහැ – ධනංජය ද සිල්වාත් නූලෙන් බේරුණු ගොනාකෝවිලේ පාතාලය

බිඳ වැටුණු ආර්ථිකය හමුවේ පොලිස් ක්‍රියාකාරකම් අඩපණ වන විට හිස ඔසවන්නට වූයේ කුඩු පාතාලයයි. ඒ කොළඹ බැස්ටියන් මාවතේදී ඉකුත් මැයි 31 වෙනිදා විශ්‍රාමික කමාන්ඩෝ භටයෙකුගේ ජීවිතය ඩැහැ ගනිමිනි. එතැනින් ආරම්භයක් සටහන් වූ ගිනි අවියෙන් කෙළි පටන්ගත් කුඩු පාතාලය බිලිගත් ජීවිත ගණන 22කි.

ගල්කිස්ස අධිකරණ ශාලාව තුළ ඉකුත් 04 වෙනිදා පත්තු වූ වෙඩිල්ලත් හරි ඉලක්කයටම වැදුණි නම් අද මේ ගාන සටහන් වන්නේ තවත් එකක් වැඩියෙනි.

එම වෙඩිල්ල පිටුපස ඇත්තේ ද කුඩු පාතාලයේ ලොකු කතාවකි.

බැස්ටියන් මාවතෙන් ආරම්භයක් සනිටුහන් වෙමින් ගෙවී ගිය සතියේ අහංගමින් කෙළවර වූ තවමත් නොනවතින කුඩු පාතාලයේ ඝාතන 22න් 15ක්ම සිදුව ඇත්තේ බස්නාහිර පළාත තුළය. සෙසු ඝාතන සියල්ලක්ම සිදුවන්නේ දකුණු පළාත ආශ්‍රිතවය. බස්නාහිර සිදුවූ ඝාතනවලින් 09ක්ම සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේය.

ඒ අතර වඩාත්ම අවධානයට යොමු වන ඝාතනය වාර්තා වන්නේ රත්මලානෙනි. ඒ ඉකුත් 27 වෙනිදාය. ආර්ථික මධ්‍යස්ථානයට කිට්ටුව පාත පිහිටි වීරසේන සිල්වා මාවතේ නිවසකට මහා රෑ කඩාවදින තුවක්කුකරුවෝ දෙදෙනෙක් වෙඩි පිට වෙඩි තබා එදා මරා දමන්නේ නිවෙස් හිමියාවූ චරිත් උමංග ද සිල්වාය. ඒ බිරිය සහ දරුවන් බලා සිටියදීමය.

චරිත් උමංග රගර් ක්‍රීඩකයෙකි. අධ්‍යාපනය ලැබුවේ රටේ නම ගිය පල්ලියේ පාසාලකිනි. දරු පියෙක් වූ ඔහු සිය අඹුදරුවන් රැක්කේ කුලී රථයක් පදවමිනි. හැබැයි පොලීසිය නම් කියන්නේ ඊට එහා ගිය වෙනත් ආදායම් මාර්ග ඔහුට පැවති බවය.

චරිත්ගේ ඝාතනය හා බැදුණු අභිරහස විසඳන්නට ගල්කිස්ස කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය විසින් පවරන්නේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරාටය. ඒ විමර්ශන සඳහා අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම්ද ලබාදෙමිනි.

වෙඩික්කරුවෝ නිවසට කඩා පනින්නේ චරිත් අසල නිවසකට ගොස් ආපසු නිවසට ගොඩවෙනවාත් සමඟිනි. ඒ අනුව දිලීප ප්‍රමුඛ විමර්ශකයන්ට පෙනී යන්නේ චරිත්ව මරා දමන්නේ සැලසුම් සහගතව බවය. වෙඩික්කරුවන් එන්නේ ද මෝටර් රථයක නැගීය. රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ මෝටර් රථය නතර කරන ඔවුන් ගිනි අවි අතැතිව වීරසේන සිල්වා මාවතට පිවිසෙන්නේ පා ගමනින්ය.

එක් අයෙක් අත ඇත්තේ ටී 56 අවියකි. අනෙකාගේ අතේ පිස්තෝලයකි. නිවසට කඩා වැදුණු ගමන් චරිත්ට මුලින්ම කොකා ගස්සන්නේ පිස්තෝලය අතැතිව සිටි වෙඩික්කරුවාය. කොකා දෙතුන් පාරක් ගැස්සුවේය. වෙඩිල්ලක් තබා කිසිදු හඩක්වත් එයින් පිටවූයේ නැත. ටී 56 ගිනි අවියෙන් වෙඩි වරුෂාවක් නිකුත් වන්නේ ඒත් එක්කමය. එම වෙඩි වරුෂාවට මැදිවූ චරිත් සඳහටම දෑස් පියා ගන්නේ එතැනමදීය.

මෙසේ ඝාතනය වන චරිත් උමංග රත්මලාන හොල්ලාගෙන සිටි පාතාලයේ ප්‍රබලයෙක් වන ගොනා කෝවිලේ රොහාට ඥාතිකම් කීවෙකුය. රොහාගේ නාමය දැන් සටහන්ව ඇත්තේ පොලීසියෙන් වෙඩි කා මරුමුවට පත්වූ පාතාල අපරාධකරුවන්ගේ නම් ලැයිස්තුවේය. ඒ බෝට්ටුවක නැගී ඉන්දියාවට පළා යන්නට සූදානම්ව සිටියදී කොච්චිකඩේ වෙරළ තීරයේදී 2020 වසරේදී පොලීසියෙන් වෙඩි කාය. හැබැයි රොහාගේ මරණය සිදුවන්නේ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ගොනා කෝවිලේ අංජු විසින් රොහාගේ පණ වෙනුවෙන් රුපියල් කෝටි 04ක ප්‍රසිද්ධ ලංසුවක් තබා තිබියදී වීම විශේෂිතය.

රොහාගේ මරණයත් සමඟ රත්මලානේ කුඩු පාතාලයේ මුළුමනින්ම පත්වූයේ අංජුගේ අතටය. අංජු අද වන විට සිටින්නේ සිය අඹු දරුවන් සමඟ ප්‍රංශයේ සැපවත් ජීවිතයක් ගතකරමිනි. අංජුගේ මත්කුඩු ජාලයේ මහ මොලය ඇල්ටෝ ධර්මෙය. ඔහු දැන් ඉන්නේ ඩුබායිවලය. රත්මලානේ කුඩු පාතාලය අංජු සියතට ගන්නේ ඇල්ටෝ ධර්මෙත් සමඟ එක්වය. අංජුගේ මත්කුඩු ජාලයේ මහ මොළය ඇල්ටෝ ධර්මේය.

එල්ලවල ලියනගේ ධර්මසිරි පෙ‍රේරා නොහොත් ඇල්ටෝ ධර්මේ දම්පේ මඩපාත පදිංචිව සිටියෙකි. උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ ඔහු ඇගළුම් කර්මාන්ත ශාලාවක තත්ත්ව පරීක්ෂකවරයෙක් ලෙසද සේවය කළේය. ධර්මේ අධික ලෙස මත්කුඩු භාවිතයද ඇබ්බැහි වූවෙකි. ධර්මේ මත්කුඩු භාවිතාවට ඇබ්බැහි වන්නේද ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිටියදීය. රැකියාවෙන් උපයන වැටුප මත්කුඩු පානයට ප්‍රමාණවත් නොවූ තැන ඔහු සොරකම් සහ මංකොල්ලකෑම් වලටද පෙලඹුණේය. 2005 වසරේදී ඔහුව මිරිහාන විශේෂ අපරාධ විමර්ශක ඒකකය මඟින් මුලින්ම අත්අඩංගුවට ගන්නේ වාහන මංකොල්ලයකට සැකපිටය. ඇල්ටෝ ධර්මේ බවට ඔහු පත්වන්නේ එතැන් සිටය. ඒ ඇල්වතුරත් නිවා පානය කරන්නෙකුගේ චරිතය පොලිස් නිලධාරීණ් ඉදිරියේ රඟ පෑම හේතුවෙනි. ධර්මසිරිට ඇල්ටෝ ධර්මේ නාමය එදා භෞතිෂ්ම කරන්නේ පොලීසියයි.

එදා වාහන කොල්ලකෑම්වලට රක්ෂිත බන්ධනාගාරගතවන ඇල්ටෝ ධර්මේ ඇප මත නිදහස ලබන විට ඇගළුම් කර්මාන්ත ශාලාවේ රැකියාව ද ඔහුට අහිමිව ගොස් තිබුණේය. එතැන් පටන් ඔහු නැනෝ වර්ගයේ කැබ් රථයක් කුළි ගමන් සඳහා ධාවනය කරන්නට ගත්තේය. ගොනා කෝවිලේ අංජුව ඔහුට දැන හදුනා ගන්නට ලැබෙන්නේ එම වකවානුවේදීය. එකල අංජු ද නැනෝ කැබ් රථයක් කුළියට පැදෙව්වේය. පාතාලයේ එකල වැඩ කරුවෙක් වූයේ අංජුගේ වැඩිමහල් සහෝදරයා වූ ගොනා කෝවිලේ ලංසියාය. ඔහුට ධර්මේ කිට්ටුවන්නේ අංජු හරහාය. ලන්සියා මත්කුඩු ජාවාරමේද නිරතවූවෙකි. එවකට සිටි මැති ඇමතිවරු රැසක්ම ඔහු ළගින් ඇසුරු කළේය. පොලීසියේත් ලොකු මහත්වරු ලන්සියා ළඟ වැද වැටුණේය. ඒ මැති ඇමතිවරුන්ට කියා ස්ථාන මාරුවක් හෝ උසස් වීමක් ගන්නටය.

ලන්සියාගේ මත්කුඩු වැඩි හරියක් බෙදුනේ ධර්මේගේ නැනෝ කැබ් රථයෙනි. ලන්සියාට සිටි විශ්වාසවන්තම ගෝලයා බවට පත්වන්නේද ඇල්ටෝ ධර්මේය. මත්කුඩු නඩුවකට පෙනී සිටීමට 2016 ජුනි 30 වෙනිදා කඩවත පිහිටි මහර අධිකරණයට ගොස් සිටියදී රොහාගේ වෙඩි ප්‍රහාරයකින් ලන්සියා ඝාතනය වීමෙන් පසු අංජුට පාතාලයේ කිරුල පලන්දා ඔහුව ලන්සියාගේ තැන තබන්නට මුල්වන්නේ ද ධර්මෙ ය. ඒ ලන්සියාව මරා දැමීමෙන් නොනැවතී ලන්සියාගේ සහෝදරයන්ටද රොහා කුරුමාණම් අල්ලන්නට වූ බැවිනි.

ඒ වන විට අංජු සිටියේ මලයාසියාවට පළා ගොසිනි. ඒ සිය සහෝදරයාගේ ඝාතනයත් සමඟ රොහාගේ කුළී ඝාතකයින් ඔහු පසු පස පන්නන්ට වූ බැවිනි. සිය සහෝදරයාගේ පාතාල වැඩවලට ඒ වන විට කිසිදු සම්බන්ධයක් නොමැතිව සාමාන්‍ය දිවි පෙවතක් ගත කළ අංජු වැඩ පටන් ගන්නේ මලයාසියාවෙන් ඩුබායි වෙත වෙතැන් වෙමිනි. ඒ ගියාමය. ඔහු මෙරටට අදටත් පය තැබුවේ නැත. මේවන විට ඔහු ප්‍රංශයේ රැදී සිටියත් වැඩි කාලයක් වැඩ පෙන්නුවේ ඩුබායි ඉදගෙනය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියාව පවා කුළි ඝාතකයින් යොදවා ඔහු මරා දමන්නේද ඩුබායි සිට ධර්මෙව මෙහයවමිනි. ඒ 2018 වසරේ මැයි 05 වෙනිදාය. ධනංජයගේ පියා එවකට දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකි. රංජන්ද සිල්වා නැමැති ඔහුව මරා දමන්නේ රත්මලානේ ඥනේද්‍ර මාවතේ පිහිටි සිය නිවස ඉදිරිපිටදීය. ඒ ටී 56 අවියකින් වෙඩි තබාය. ධනංජයගේ සහෝදරයා වූ සාවිත්‍රද සිල්වාත් වෙඩික්කරුගේ ඉලක්කයක් බවට පත්ව තිබුණි. ඔහු හිටපු නාගරික මන්ත්‍රීවරයෙකි. දෙපයට පින්සිදු වන්නට එදා ඔහුගේ දිවි බේරී තිබුණි. එසේ නොවන්නට එදා ඔහුත් සිය පියා සමඟ එතැනම වෙඩි කා මියැදෙන්නේය. මේ අයගේ තවත් ඉලක්කයක් වී තිබුණේ ධනංජය සිල්වාය. එදා එම ප්‍රහාරය එල්ල වන විට ඔහු සිටින්නේ විදෙස් තරග සංචරයකට සහභාගි වෙමිනි. ධනංජය එදා නිවසේ සිටියේ නම් අද අපේ රටට වටිනා සම්පතක් ඇත්තේ අහිමිවී ගොසිනි.

මෙසේ ධනංජයගේ පවුල අංජුගේ ඉලක්කය බවට පත්වන්නේ ගමේ කමට රොහා සමඟ හිතවත්කම් පෑමය. රොහාට ගෑවුණු කිසිවකුටත් එදා අංජු ජීවත්වන්නට ඉඩ දුන්නේ නැත. ඒ තරමටම රොහා සමඟ අංජු සිටියේ දැඩි වෛරයකිනි. ඒ සිය සහෝදරයා වූ ලන්සියාව මරා දැමුවේ රොහා වූ බැවිනි. එකදිගටම රොහාට හිතවත් කම් පෑ අය මෙන්ම රොහාගේ ගෝලබාලයින් මරා දැමූ ඇල්ටෝ ධර්මේ පොලිස් ඇසට වැලි ගසා පනින්නේ අංජු ළඟටය. ඒ 2018 වසරේ ජුනි මාසයේදීය.

එදා ඉදන් ධර්මේ රැඳී සිටින්නේ ද ඩුබායිවලය. එක දුරකතන ඇමතුමකින් ධර්මේට අද ඩුබායි සිට කරන්නට බැරි දෙයක් නැති තරම්ය. ඩුබායිහී ඔහු රැඳී සිටින්නේ ව්‍යාපාරික වෙස් ගෙනය. කුඩු සල්ලිවලි ඔහු ඩුබායි හී ඇති ව්‍යාපාරවල අයෝජනයකර ඇත්තේ එසේ නොවුණහොත් එරට රැඳී සිටින්නට වීසා නොලැබෙන බැවිනි. ඔහු එසේ ඩුබායි හී නිදහසේ රැඳී සිටින්නේද ධනංජයගේ පියාගේ ඝාතනයට ජාත්‍යන්තර පොලීසිය මඟින් දුටු තැන අල්ලන්නට රතු නිවේදනයක් පවා නිකුත් කර තිබියදීය. ඒ අනුව 2020 වසරේදී ධර්මේ ඩුබායි පොලීසියට හසුවූවත් ඔහුව මෙරටට පිටවහල්කර එව්වේ නැත. අපේ රටෙන් ඔහුව ඉල්ලා සිටියත් ඩුබායි බලධාරීන් අපිට ඔහුව බාර දුන්නේද නැත. ඒ මාකදුරේ මධුෂ්ව ඩුබායි සිට මෙරටට රැගෙන ඒමෙන් පසු සිදුවූ දේ නිසාය.

දැන් ඇල්ටෝ ධර්මේ ඩුබායි හී රැඳී සිටින්නේ කුමාර සැප විඳිමිනි. අද ඔහු ප්‍රකෝටිපතියෙකි. කුඩු සල්ලිවලින් සැප විදිමින් ඇල්ටෝ ධර්මේ ඩුබායි ඉඳන් අංජුගේ මත්කුඩු ජාලය මෙහෙයවමින් සිටින්නේ ගෝල බාලයින් යොදාගෙනය. එම මත්කුඩු ජාලයේ සිටින ප්‍රධාන පුරුකක් වන්නේ නුවන් චින්තකය. නුවන් පදිංචිව සිටියේ රත්මලානේ රතුකුරුස නිවාස සංකීර්ණයේය. නුවන්ගේ ගම්පළාත දෙණියාය පැත්තේය. යුද හමුදා විශේෂ බලකායේ සිටි සෙබලෙක් වන ඔහු අංජුගේ කල්ලියට වැටෙන්නේ ඉක්මනින් පොහොසත් වෙන්නට සිතාගෙන කුලී ඝාතකයෙක් බවට පත්වෙමිනි.

යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත්වූ අයෙක් වන නුවන්, හමුදා සේවයට සමුදීමෙන් පසු වැඩ කළේ රත්මලානේ මාළු කඩේකය. අංජුගේ ගෝල බාලයින් ඔහු දැන හඳුනාගන්නේ එහිදීය. නුවන්ගේ නම ඉදිරියේ පොලිස් පොත්වල ලියැවුණු ඝාතන ඇත්තේ දෙක තුනක් පමණි. නොලියැවුණු ඝාතන බොහෝය. ඒ සියලු ඝාතන සිදුවන්නේ 2018 න් මෙහාය. පිළියන්දලදී රොහාගේ ගෝලයෙන් මරා දමන්නේ ගෙල කපා කුරුරු ලෙසිණි. අනතුරුව උදාර නැමැති රොහාගේ තවත් ගෝලයකුට ඔහු වෙඩි තබා මරා දමන්නේ පිළියන්දල පැත්තේදීය. අංජුගේ කල්ලියේ අභිරහස් ඝාතකයකු වූ නුවන්ට වැඩි කලක් සෙල්ලම් පාන්නට ඉඩක් නොවීය. 2018 වසරේ අගදී පොලීසියට හසුවී හිරේට ගියේය. නුවන් නැවත එළියට එන්නේ 2019 දීය. ඒ ඇවිත් කරන්නේද අංජුගේ මත්කුඩු ජාවාරමේ හවුල්කරුවෙක් වීමය.

නුවන්ට සිය බිරිය සෙව්වන්දිව මුණ ගැසෙන්නේ හිරෙන් එළියට ආ විටය. ඇය එකල බාල වයස්කාර තැනැත්තියක් වූවාය. රූ ස්වභාවයෙන් ඇය රූපසුන්දරියකට නොදැවෙනිය. නුවන්ගේ සිත ඇය කෙරෙහි බැඳෙන්නේද එබැවිනි. දන්න හැම ශිල්පයක්ම දමා සෙව්වන්දිව දැලේ දාගත් නුවන් ඇයත් සමඟ වසර එකහාමාරක් පමණ දීග කෑවේය. සෙව්වන්දිට නිසි වයස එළඹුණු විට දෙදෙනා නීතියෙන් විවහා වන්නේ ඉකුත් මාර්තුවේදීය.

සෙව්වන්දියේ පියා නැත. කුඩා කල සිට ඇයව හදාවඩා ගෙන ඇත්තේ මව විසිනි. දැන් ඇය සිටින්නේ යැයි කියන්නේ ඩුබායිවලය. සෙව්වන්දි නිසි රැකවරණයක් නොමැතිව හැදී වැඩුණු තැනැත්තියකි. නුවන් වැනි පාතාල අපරාධකරුවෙක් සමඟ ඇයට පෙමින් වෙළෙන්නට නිදහසක් ලැබෙන්නේද එබැවිනි. ඒ යැයි කියා නුවන් ඇගෙන් අනිසි ඵල ප්‍රයෝජන ගෙන අතහැර දැමුවේ නැත. එවැනි අරමුණක් තිබුණේ නම් ඔහු ඇයව විවහාකර ගන්නේද නැත. නුවන් හදවතින්ම සෙව්වන්දිට ආදරය කළේය. මත්කුඩු ජාවාරමට සම්බන්ධව සිටිය ද ගහමරා ගැනිලිවලට නොගියේ ද ඇයට තිබුණු ආදරය නිසාය. ඒ සිය ජීවිතයට යම් අනතුරක් සිදුවුවහොත් සෙව්වන්දිට යන කල ගැන සිතාය.

සෙව්වන්දිගේ රූ සපුවට වහ වැටුණු බොහෝ දෙනෙක් රත්මලාන පැත්තේ සිටියහ. චරිත් ද ඒ ගොන්න අතර සිටියෙකි. ඇයට චරිත්ගෙන් හිරිහැර සිදුවූයේ යැයි කියන්නේ වරක් දෙවරක් නොව. ඒ ගැන ඇය නුවන්ට කී විට ඔහුට චරිත් ගැන ඇතිවන්නේ මරාගෙන මැරෙන කේන්තියකි. එහෙත් ඔහු ඉවසාගෙන සිටින්නේ තමා අතින් චරිත්ගේ ජීවිතයට හානියක් වුවහොත් සෙව්වන්දිට යන කල ගැන නැවතත් සිතමිනි. එම ඉවසීමේ සීමාව ඉක්මවා යන්නේ දිනක් උමංග ආර්ථික මධ්‍යස්ථානය කිට්ටුව පාතකදී සෙව්වන්දිගේ ඇඟ පසඟ අතගෑමක් මුල්කරගෙනය. එහි ඇත්ත නැත්ත දන්නේ චරිතුත් සෙව්වන්දිත් පමණි.

ඒ ගැන චරිත් සමඟ කතාබස්කර ගැටුමක් ඇති කර ගන්නට නුවන් ඉක්මන් වූයේ නැත. ඩුබායිවලට දුරකතන ඇමතුමක් ගෙන“ අයියේ චරිත් මගේ කෙල්ලට ඉන්න දෙන්නේ නැහැ. හැම තිස්සෙම එයාට කරදර කරනවා“ යැයි කියා ධර්මෙට කීවේය. ඒ මේ ගැන කියන්නට නුවන්ට වෙන කෙනෙක් නොමැති වූ තැනය. එහිදී ධර්මෙගෙන් උපදෙස් ලැබෙන්නේ චරිත් මුණ ගැසී තමාට එතැන සිට දුරකතන ඇමතුමක් ගන්නා ලෙසටය.

ඒත් එක්කම චරිත්ව සොයා ගිය නුවන් එතැන සිටම වීඩියෝ ඇමතුමක් ධර්මෙට ගත්තේය. දුරකතනය කිසිවක් නොකියාම චරිත් අත තැබුවේය. එහිදී ධර්මේ සුද්ද සිංහලෙන්ම චරිත් අමතමින් නැවතත් සෙව්වන්දිට හිරිහැර කළහොත් දෙන රජකාලේ දඩුවමක් ගැනද කීවේය.

එම ඇමතුමෙන් පසු චරිත්ගෙන් පෙරළා ප්‍රතිචාර ලැබෙන්නේ බඩකට පිරෙන්නට නුවන්ට අතින් පයින් නෙළමිනි. “ධර්මෙට කියපන් මම උඹට ගැහුවා කියල. ඌ මට මොනව කරන්නද? ඌ මට ලොකු එකෙන් නෙමෙයි“ යැයි ද කියමිනි.

එය එතැනින් නිමා වන්නේ නැත. නුවන් තමාට පහර දුන්නේ යැයි කියා චරිත් ගල්කිස්ස පොලීසියට පැමිණිල්ලක් කරන්නේ බිරිය ද කැටුව ගොසිනි. ඒ වැඩේ අනිත් පැත්තට පත්තු කරමිනි.

චරිත්ගේ පැමිණිල්ලට අනුව ගල්කිස්ස පොලීසිය සැනින් ක්‍රියාත්මක වන්නේ නුවන්ගේ පැටිකිරිය දැන සිටි බැවිනි. එහිදී නුවන් කියන්නට ගත්තේ චරිත් තමාට පහරදුන් බවකි. දෙපැත්තේම තරම පොලීසිය දැන සිටි බැවින් පොලීසිය සෙව්වන්දිත් නුවනුත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ අධිකරණය හරහා ඔවුන්ට ඒ ගැටලුව විසදා ගැනීමට ඉඩ සලසා දෙමිනි. එහිදී අධිකරණයෙන් ඇප ලැබුණු ඔවුන් දෙදෙනා රත්මලානෙන් අතුරුදන්වන්නේ කිසිවකුටත් ඉන්නා තැනක් සොයා ගන්නට නොහැකිවන ලෙසිනි.

“අපි මැරිල කියලද උඹල හිතන් ඉන්නේ. හැබැයි අපි තාම මැරිල නැහැ. ඒක දැන ගනින්.“ යැයි අංජුගෙන් ප්‍රංශයේ සිට චරිත්ට ඇමතුමක් ලැබෙන්නේ ඔය අතර තුරදීය.

වෙඩි ප්‍රහාරයකට ලක්ව චරිත් ඝාතනය වන්නේ මෙම සිදුවීම් මාලාවෙන් සති දෙක තුනක් ඉක්මයන්නට මත්තෙනි. උමංගගේ මරණය හා මෙම සිදුවීම් පෙළ සමපාත වන අයුරු නිරීක්ෂණය කළ ගල්කස්ස කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මූස්ථාන පොලිස් ස්ථානාධිපති දිලීප පෙරේරාට උපදෙස් දෙන්නේ වහාම අධිකරණයට කරුණු දක්වා නුවන්ගේත් සෙව්වන්දිගේත් විදෙස් ගමන් තහනමක් පනවන ලෙසටය.

ඒ අනුව ගල්කිස්ස අධිකරණයෙන් ඔවුන් දෙදෙනාට විදෙස් ගමන් ගහනමක් පැනවෙන්නේ චරිත්ගේ ඝාතනයෙන් පැය 24ක් යන්නට මත්තෙනි. මේ කිසිවක් නොදන් සෙව්වන්දිත් නුවනුත් වත්තල පැත්තේ ඒජන්සියකින් ගුවන් ටිකට්පත් වෙන්කර ගනිමින් කටුනායක ගුවන් තොටුපොලට ඉකුත් 30 වෙනිදා එන්නේ ඩුබායි යන්න බලාගෙනය.

කටුනායක ගුවන් තොටට ඇතුළු වූ නුවන්ටත් සෙව්වන්දිටත් ඩුබායි යන්නට නම් කිසිදු ඉඩක් නොවීය. අධිකරණ නියෝගය ඔවුන්ගේ ගමනට හරස් කැපුවේය.

ආගමන විගමන බලධාරීන්ගේ දැනුම් දීමට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොල ඒකකයේ නිලධාරීන් ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගත්තේය. ඔවුන්ව රැගෙන යාමට ගල්කිස්ස පොලීසියේ නිලධාරීන් එන තුරු ඔවුන්ව රඳවා තැබෙන්නේ ගුවන්තොටුපොල පොලිස් නිලධාරීන්ගේ භාරයේය. ඒ අතර නුවන් තමාවත් බිරියවත් පොලීසියට හසුවූ බව ධර්මේට දුරකතන ඇමතුමක් ගෙන කියා තිබුණේය.

එහිදී ධර්මේ එහි සිටි පොලිස් නිලධාරියෙකු හා සම්බන්ධ වන්නේ “සර්, මම දැන් ඔයාගේ එකවුන්ට් එකට කෝටියක් දාන්නම්. කෙල්ලව විතරක් හරි රිලීස් කරල එවන්න“ යැයි කියාය. ධර්මේ දෙතුන් වරක්ම එම නිලධාරියා හරහා ඇවිටිලි කරන්නට වූයේ සෙව්වන්දිව නිදහස් කර ඩුබායි බලා ගෙන්වා ගන්නටය.

කෝටියක් දී සෙව්වන්දිව ඩුබායි ගෙන්වා ගන්නට තරම් උනන්දුවක් ධර්මේට ඇතිවන්නේ ඇයි දැයි පොලීසියටත් තේරුම් යන්නේ තරමක් ප්‍රමාද වීමෙනි. ඒ චරිත් පමණක් නොව, ධර්මෙත් ඒ වන විට සෙව්වන්දිගේ රූපයට වහා වැටී සිටි බැවිනි. ධර්මේ සැලසුම් කළේ නුවන්ව හලා සෙව්වන්දි පමණක් ඩුබායි ගෙන්වා ගන්නටය. ඒ සැකය මතුවී ඇත්තේ පොලීසියටය. චරිත්ගේ ඝාතනය සිදුවන්නේද ඒ අනුව බව පොලීසියේ විශ්වාසයයි.

චරිත්ගේ ඝාතනය අංජුගේ උපදෙසින් ඇල්ටෝ ධර්මේගෙ සැලසුමකට අනුව සිදුවූවක් බව පොලීසිය පවා දැන ගන්නේ සෙව්වන්දිත් නුවනුත් ගල්කිස්ස පොලිස් ස්ථානයට රැගෙන විත් කළ ප්‍රශ්න කිරීම් හමුවේය.

එදා පිස්තෝලයක් අතැතිව චරිත් මරා දමන්නට යන්නේ නුවන්ය. එම පිස්තෝලය නුවන් අතට පත්වන්නේ හොරණ ඔලබොඩවත්තේදීය. ටී 56 සමඟ වෙඩික්කරුව ඔහුට මුණ ගැසෙන්නේ හෝමාගම පැත්තේ දීය. හැබැයි ඔහු කවුරුන්දැයි කියා කිසිවක් නුවන් දන්නේ නැත.

ඒ එම කුළී ඝාතකයාව සූදානම් කරන්නේ ඇල්ටෝ ධර්මෙ විසින් වූ බැවිනි. පොලීසිය දැන් පන්නමින් සිටින්නේ ඒ කුලී ඝාතකයාව හඳුනාගෙන කොටුකර ගැනීමටය.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?