අධ්‍යාපනයට සිදුකරන ආයෝජන ඔස්සේ, සමාජ පරිවර්තනයක් සිදු කළ හැකි අනාගත නායකයින් බිහි කරන ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
වේල්ස් කුමර හා කුමරි විද්‍යාලවල 150 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන්, අද (14) දින මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේදී පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියා.
මෙහිදී වැඩිදුරත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
අධ්‍යාපනයෙන් අප බලාපොරොත්තු වන්නේ පවතින සමාජය තේරුම් ගෙන, සමාජය ගුණාත්මක මගකට හැරවීම සඳහා නායකත්වය දිය හැකි අනාගත පරපුරක් බිහිකිරීමයි. ඒ භාරදූර්ය කර්තව්‍ය වෙනුවෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් යන මේ පරිවර්තනීය මොහොතේ මෙවැනි පාසල්වලට සුවිශේෂී වූ කර්තව්‍යයක් ඉටුකිරීමට සිදුවෙනවා.
අපි රජයක් හැටියට ප්‍රමුඛත්වය දීලා තියෙන්නෙ මානව සම්පත් දියුණු කරන්න. ඒ ගමනේදී අධ්‍යාපනයට අප සුවිශේෂී අවධානයක් දීලා තියෙනවා. අප ක්‍රමානුකූලව අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල අයවැයෙන් අයවැයට වැඩි කරමින් යනවා. නමුත් එම ක්‍රියාවලිය නිදහස් අධ්‍යාපනය නිර්මාණය කිරීමේදී පැවති දර්ශනයේ අඩංගු සියලුම සංකල්පයන් ආවරණය වන ආකාරයෙන් සිදුකළ යුතුයි. එම අරමුණු කරා යාමට අවශ්‍ය කරන සහය ඔබ සැමගෙන්ම ලැබේවියැයි අප අපේක්ෂා කරනවා.













