අද සිට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක්

එම්.එස්. අබ්දුල් වාහිද්ගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ලබාදී ඇති බවයි පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් හංස අබේරත්න මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ.

එම්.එස්. අබ්දුල් වාහිද්ගේ ලිපියට අනුව, ඉහත ඉල්ලා අස්වීම 2026 සැප්තැම්බර් මස 14 වැනි දින සිට බලපැවැත්වෙන බව ද වැඩ බලන මහ ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.

ඒ අනුව, දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(5) වගන්තිය ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.