BYD මෝටර් රථ දහසකට වැඩි ගණනක් වරායේ රඳවා තැබීම ගැන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

ප්‍රතිමුඛ ආයෝජන පිළිබඳ යාවත්කාලීන කරන ලද මාර්ගෝපදේශ, දේශීය සමාගම් සඳහා විදේශයන්හි ආයෝජනය කිරීම සඳහා වැඩි කළ සීමාවන් හඳුන්වාදීම ඇතුළු ක්‍රියාවලීන් විධිමත් කිරීම ඇතුළත් නියෝගයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් පසුගියදා සැලකිල්ලට ගනු ලැබුවා.

2017 අංක 12 දරණ විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ 2025.06.18 දින අංක 2441/14 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද එම නියෝගය මෙහිදී සළකා බැලීමෙන් අනතුරුව ඊට අදාළ අනුමතිය හිමි වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් 2025.07.29 දින පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම කරුණු සාකච්ඡා කෙරුණා.

මේ අනුව කොටස් වෙළඳපොළ ලැයිස්තුගත සමාගම් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත ආයෝජන සීමාව ඇ.ඩො 500,000 සිට ඇ.ඩො 750,000 දක්වා ඉහළ නංවා ඇති අතර, ලැයිස්තුගත නොකළ සමාගම් සඳහා සීමාව ඇ.ඩො 150,000 සිට ඇ.ඩො 200,000 දක්වා වැඩි කර තිබෙනවා.

මෙම සීමාවන් ඉක්මවා ආයෝජනය කිරීමට අපේක්ෂා කරන සමාගම්වලට විදේශ මූලාශ්‍රවලින් ඇ.ඩො මිලියන 02ක් දක්වා ණය ලබාගත හැකි අතර ඇ.ඩො මිලියන 02 ඉක්මවන ඕනෑම ආයෝජනයක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ විශේෂ අනුමැතියක් අවශ්‍ය වනවා.

අදාළ අරමුදල් විදේශයන්ට මාරු කිරීමට පෙර සියලුම ප්‍රතිමුඛ ආයෝජන ශ්‍රී ලංකාවේ නම් කරන ලද ප්‍රතිමුඛ ආයෝජන ගිණුමක් (Outward Investment Account – OIA) හරහා යොමු කළ යුතුයි.

අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව සමාගම්වලට මෙම ගනුදෙනු ඉක්මනින් පහසු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකුවලට අවසරය ලබා දී තිබෙනවා.

රැස්වීමට සහභාගී වූ නිලධාරීන් අවධාරණය කළේ ශ්‍රී ලාංකික ව්‍යාපාර, විශේෂයෙන් තාක්‍ෂණික හා මෘදුකාංග ක්ෂේත්‍ර ජාත්‍යන්තරව පුළුල් කිරීම දිරිගැන්වීම අරමුණු කරගෙන මෙම සංශෝධන සිදුකර ඇති බවයි.

පෙර පැවති සීමාවන් නිසා සමහර සමාගම් මෙරට හැරයාමට පෙළඹෙන තත්ත්වය හමුවේ මෙම වෙනස්කම් සිදුකර තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයින් කෙටි කාලීන සැපයුම්කරු ණය ජංගම ගිණුම් ගනුදෙනුවක් ලෙස වර්ගීකරණය කර ඇති බවත්, අමතර සීමාවන් නොමැති බවත් සහතික වුණා.

2025.06.30 දින අංක 2443/14 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2024 අංක 33 දරණ රාජ්‍ය ණය කළමනාකරණ පනතේ 35 වන වගන්තිය යටතේ කරන ලද නියෝගය ද කාරක සභාව විසින් සලකා ලැබුණා.

දීර්ඝ සාකච්ඡාවකින් පසුව අදාළ නියෝගය සඳහා අනුමැතිය ලබා දීම සිදු වුණා.

වාහන ආනයනය කිරීමට ජාත්‍යන්තර ණයවර ලිපි (Cross-border LC) සහ ලියාපදිංචිය ඉවත් කිරීමේ අවශ්‍යතාව (de-registration requirements pertaining to the importation of vehicles) කමිටුව විසින් සමාලෝචනය කරනු ලැබුවා.

තවද, සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත් කෙටුම්පත සහ ඊ-වාණිජ්‍ය බදුකරණය සහ අදාළ කරුණු සඳහා යෝජිත වැඩිදියුණු කිරීම් පිළිබඳව ද කමිටුව විමසා සිටියා.

2024 අංක 33 දරණ රාජ්‍ය ණය කළමනාකරණ පනතේ 35 වන වගන්තිය යටතේ ඇති රෙගුලාසිය මගින්, රාජ්‍ය හිමිකාරී ව්‍යවසායන් (SOEs) සඳහා නව රාමුව යටතේ ජාත්‍යන්තර ණය ගැනීම් සඳහා පවතින සීමාවන් ඉවත්වීම සිදුවනවා.

භාණ්ඩාගාරයෙන් ස්වෛරී ඇපකර සඳහා සුදුසුකම් ලැබීමට ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හඳුන්වා දුන් මෙවලම් භාවිත කරමින් පරීක්ෂණවලට භාජනය විය යුතුයි.

මෙම යාන්ත්‍රණය ණයහිමියාගේ පොළී අනුපාතවලට අමතරව අවදානම් වාරික තීරණය කරන අතර, එමඟින් ණය ගැනීම වඩාත් මිල අධික වන බවත් රාජ්‍ය ව්‍යවසායන් අතර මූල්‍ය විනය ප්‍රවර්ධනය කරන බවත් මෙහිදී සාකච්ඡා වුණා.

රාජ්‍ය ණය කළමනාකරණ පනත මත පදනම්ව, ශ්‍රී ලංකාව දැනට දළ දේශීය නිෂ්පාදිත ණය ගැනීමේ සීමාවෙන් 7.5%ක් යටතේ ක්‍රියාත්මක වන අතර, දළ දේශීය නිෂ්පාදිතයෙන් ආසන්න වශයෙන් 5% ක් දැනටමත් භාවිත කර ඇති බව නිලධාරීන් තවදුරටත් සඳහන් කළා.

මේ අනුව ඉදිරි වර්ධනය සහ සංවර්ධන මූල්‍යකරණය සඳහා ණය ගැනීමේ ධාරිතාවයෙන් 2.5% ක පමණක් ඉතිරිව තිබෙනවා.

වාහන ආනයනය සඳහා ජාත්‍යන්තර ණයවර ලිපි (LC) අවශ්‍යතා පිළිබඳ යාවත්කාලීන කිරීමක් පිළිබඳව ද අවධානය යොමු වුණා.

දේශසීමා ණය යටතේ ආනයනය කරන ලද සියලුම වාහන නැවත අපනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව භාණ්ඩාගාර නිලධාරීන් කමිටුවට දැනුම් දුන් අතර, මෙම තීරණය දැනට නීතිය ඉදිරියේ අභියෝගයකට ලක්ව ඇති බවත් අනාවරණය වුණා.

තවද කාරක සභාව BYD වාහන ගැටලුව පිළිබඳව ද විමසූ අතර, එහිදී වරායේ මෝටර් රථ දහසකට අධික සංඛ්‍යාවක් රඳවාගෙන තිබීමත් රටේ ප්‍රධාන සමාගමකට එරෙහිව පවතින චෝදනා පිළිබඳවත් කාරක සභා සභාපතිවරයා රේගු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළා.

එන්ජින් ධාරිතාව මත පදනම්ව තීරුබදු ගණනය කරනු ලබන බැවින්, බදු අහිමිවීම වළක්වා ගැනීම සඳහා සැක සහිත එන්ජින් ධාරිතාව පිළිබඳ පරීක්ෂණයක් කළ යුතු බව රේගු නිලධාරීන් විසින් පෙන්වා දුන්නා.

මෙය රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් දක්වා යාමට ඇති හැකියාව පිළිබඳ කාරක සභා සභාපතිවරයා කනස්සල්ල පළ කළ අතර, ජාත්‍යන්තර ප්‍රමිතිය සපුරාලිය නොහැකි දේශීය පරීක්ෂණ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන් සහිත පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත් කෙටුම්පතෙහි යෝජිත වැඩිදියුණු කිරීම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ අතර, ලොතරැයි සූදුවක් වන බැවින් ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය නියාමන රාමුව තුළට ඇතුළත් විය යුතු බව පෙන්වා දුන්නා.

ඊ-වාණිජ බදුකරණ පද්ධතියට අදාළ ගැටලු විසඳා ඇති බව පැමිණ සිටි නිලධාරීන් ප්‍රකාශ කළා.

HS කේත පදනම් කරගත් බදුකරණයට නැවත මාරුවීම නිසා ඇති වූ ප්‍රමාදයන්ගෙන් පසුව මෙහෙයුම් මේ වන විට සාමාන්‍ය පරිදි සිදුවන බව ඔවුන් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?