තිලිණ රුහුණගේ කියලා කියන්නේ නව පරපුරේ දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක්.ලංකාවේ තාරුණ්‍යයත් සමග ඉතාමත් ආදරණීයව සංගීතයෙන් ගනුදෙනු කරන මොහු තමන්ටම ආවේණික වුණු දක්ෂකමක් අතැතිව මේ වෙනකොට බොහෝ දුර ආ නිහතමානී දක්ෂයෙක්.ඉතිං මේ සුන්දර කලාකරුවාව අද අපි සුහද කතාබහකට සම්බන්ධ කර ගත්තේ ඉතාමත් සතුටින්..
තිළිණ රුහුණගේ…ආයුබෝවන්!!
ආයුබෝවන් !!
ඉතිං තිළිණ කොහොමද මේ දවස් වල?
මේ දවස් වල ඉතිං කියන්න තරම් නම් හොඳක් නෑ.හැමෝම ඉන්නේ ගොඩක් ප්‍රශ්න වල.රට කොයි මොහොතක හරි හොඳ තත්ත්වයකට එනකන් බලන් ඉන්නවා.ඒත් අපෙන් වෙන්න ඕන යුතුකම් කොටස සිද්ධ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා වගේම ඉදිරියට කරන්න තියෙන දේවල් ගැනත් මේ දවස්වල බලනවා.
කොහොමද සංගීත වැඩකටයුතු මේ දවස් වල වැඩ එනවද? නැත්නම් වැඩ නතර කරල ද තියෙන්නේ?එහෙම නැත්නම් දිගටම වැඩ කරගෙන ගියාද?
ඇත්තටම මේ දවස් වල නම් අනිත් කාල වලට සාපේක්ෂව වැඩ අඩුයි.සාමාන්‍යයෙන් මම වෙන දවස් වල මාසෙකට අවම වශයෙන් ගීත තුනක් වත් නිර්මාණය කරනවා.දැන් තියෙන තත්වෙත් එක්ක ගොඩක් අය ගීත නිර්මාණ කරනවා අඩුයි.මේ හේතුවට තව දෙයක් කිව්වොත් මම හැම නිර්මාණයක්ම කරන්න බාරගන්නෙ ගන්නේ නෑ.දැන් ගොඩක් අය සින්දු කරන්නේ සින්දු කියන්න තියෙන ආසාවට.ඇත්තටම දක්ෂතාවයක් නැත්නම් එහෙම නිර්මාණ කරලා වැඩක් නෑ.ඒ වගේ නිර්මාණ කරන්න ආවම මම මුදල් ගැනවත් හිතන්නෙ නෑ ඒවා භාරගන්නෙ නෑ.මම එයාලට හිත රිදෙන්නෙ නැති වෙන්න පැහැදිලි කරලා දෙනවා මේකයි තත්වෙ කියලා.
තව දෙයක් කියන්න ඕන,දැන් තියෙන තත්වෙත් එක්ක ගොඩක් අයට සිංදුවක් කරන්න අමාරුයි මේ තියන මුදල් ප්‍රශ්න නිසා.ඒ හින්දා කලින්ට වඩා මම සෑහෙන්න අඩුවෙන් තමයි නිර්මාණ වලට අය කරන්නෙ.
ඒත් මේ දවස් වල සාපේක්ෂ ව නිර්මාණ කරනවා අඩුයි.
තිළිණ රුහුණගේ සංගීතයට පිවිසෙන්නෙ කොහොමද? සංගීතමය පවුල් පසුබිමක්ද ඔබට තිබුණෙ?
මෙම හිතන විදියට ඒක මට උපතින්ම ලැබුණු දායාදයක්.මොකද මගේ අම්මා ලංකාවේ පළවෙනි ගායන රියැලිටි තරඟය වන පිබිදෙන ගායක පරපුර වැඩසටහනේ අවසාන පස් වෙනියා.ඒකේ පළවෙනි තැන ලැබිලා තියෙන්නෙ රෝහණ බෝගොඩ මහත්මයාට.ගුවන් විදුලි සංස්ථාවේ බී ශ්‍රේණියේ ගායිකාවක් විදියට අම්මා හිටියත් රැකියාවත් එක්ක අම්මට සංගීත කටයුතු කරගෙන යන්න අපහසු වුණා.මම හිතනවා ඇයට පිහිටලා තියෙන ඒ දක්ෂතාවය උපතින්ම මට ඇවිල්ල තියනවා කියලා.
ක්‍රිකට් ගහපු තිළිණ කොහොමද සංගීත අධ්‍යක්ෂකවරයෙක් වුණේ?
ඒක ඇත්තටම හරිම කණගාටුදායක සිද්ධියක්.මම බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දී ඉන්නකොට තමයි ක්‍රිකට් ගහන්න යොමු වුණේ.මම පාසල් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් වෙලා හිටියා.මම ඕල් රවුන්ඩර් කෙනෙක්.ඊට පස්සේ ක්‍රිකට් ඉදිරියට අරගෙන යන්න ඕන නිසාම මම මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට ඇතුළත් වුණා.නමුත් අවාසනාවන්ත විදියට මම දක්ෂතා අතර හිටියත් මාව ක්‍රිකට් කණ්ඩායමට බඳවා ගත්තේ නැහැ.ඒ හින්දා මම පුදුම කලකිරීමකට පත්වුණා.ඒ කාලේ තමයි ක්‍රිකට් පිස්සුව හොඳටම තිබුණ කාලේ.මම ක්‍රිකට් වලින් ඉදිරියට එන්න පටන් ගත්තෙත් 96 ලෝක කුසලානය දිනපු කාලෙ.නමුත් ඒ ඇතිවෙච්ච කණගාටුව නිසා මම සංගීත පැත්තට යොමු වුණා කිව්වොත් හරි.එතනින් මම ක්‍රිකට් සම්පූර්ණයෙන්ම අතෑරියා.
සංගීතය කියන්නේ මානසික සුවයක් නිසා මම එහෙම්මම සංගීතය පැත්තට යොමු වුණා.
මගේ පළවෙනි රැකියාව තමයි යමහා instritute එකේ teacher කෙනෙක් විදියට කටයුතු කරපු එක.ඊට පස්සේ yamaha music ප්‍රධාන ශාඛාවේ අලෙවි විධායකවරයෙක් වශයෙන් වැඩ කටයුතු පටන් ගත්තා.ඊට පස්සේ 2006දී අරවින්ද ලොකුගේ ඔරිජිනල් ඩීජේ අරා මාව අදුරගෙන මාව සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදියට ඔහුට අවශ්‍ය වුණා හිරු එෆ් එකට ගන්න.ඒ වෙනකොට මම අතුල අදිකාරි මහත්මයාගේ ස්ටූඩියෝ එකේ Main programmer විදියට කටයුතු කළා.ඊට පස්සේ මම හිරු සමග සම්බන්ධ වුණා.එදා හිටිය ඒ ටීම් එක මාරම දක්ෂයි.දිස්නා ඔරිජිනල් පැස්බරා,අයන්ති,ප්‍රසාද්,වින්දන,අරවින්ද ලොකුගේ මේ හැමෝම එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවැනි නෑ.ඒ කණ්ඩායම රැකියාව වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කරපු කණ්ඩායමක්.ඒ කණ්ඩායමට මාත් සම්බන්ධ වුණා.
ඉතින් ඔහොම තමයි hobby එකට කර කර හිටපු music පැත්තෙන් මම ප්‍රොෆෙෂනල් විදියට ඉස්සරහට එන්න පටන් ගත්තේ.
කවදහරි හිතුවද මම සංගීත අධ්‍යක්ෂකවරයෙක් වෙලාමයි නවතින්නේ කියලා?
ඇත්තටම මම ඒ දවස් වල සිංහල සින්දු අහනවා ගොඩක් අඩුයි.ඒත් මගේ අම්මලා ගොඩක් වෙලාවට අමරදේව සර්ගේ වික්ටර් රත්නායක මහත්මයගේ ගීත තමයි ඇහුවෙ.ඉතින් ඔහොම කාලෙක බඹර පහස කැසට් එක මගේ සහෝදරයා හොරෙන් ගෙදරට අරගෙන ආවා.ඕක play කරාම අම්මා කැසට් එක පොළොවෙ ගහල කැඩුවා.ඒක ඒගොල්ලන්ට හරියන්නේ නැහැ ඇත්තටම.නමුත් මමත් ඒ දවස් වල වැඩිපුර අහන්නෙ western music පැත්ත.ඇත්තටම ඒ කාලේ මම සිංහල රේඩියෝ එකක් වත් අහන්නේ නැහැ.හැබැයි ඒ කාලේ තරුණයා අතර හරිම ජනප්‍රියයි සිරස රේඩියෝ එක.මොකද stereo තාක්ෂණයෙන් තරුණයන්ට හොඳ ආමන්ත්‍රණයක් දුන්නා සිරස.ඒ නිසා සිරස ගැන පොඩි attention එකක් තිබ්බා.ඇත්තටම සංගීත අධ්‍යක්ෂකවරයෙක් වෙන තැනට ආවම,music compose කරන්න ගත්තම මට හිතුණා මම කරපු ගීත තියාගෙන වැඩක් නැහැ මේක එළියට දෙන්න ඕන කියලා.එහෙම තමයි සංගීත අධ්‍යක්ෂකවරයා කියන චරිතය මගෙන් එළියට ආවේ.
ඒ කාලේ තමන්ගම ගීතයක් Play කරගන්න මාධ්‍ය නාලිකාවලින් කොහොමද සහයෝගය දුන්නේ?
ඒ කාලේ අපි නිදහසේ නිර්මාණ කළා නිදහසේ රස වින්දා සහ නිදහසේ ඒවා බාර දුන්නා.මාධ්‍ය ආයතනවලින් කිසිම ගෙවීමක් නැතුව ඒවා ප්ලේ කරනවා.ඕක තමයි ලංකාවේ සිස්ටම් එක තිබ්බේ.මගේ ගීත ඕනතරම් එහෙම play වෙලා තියෙනවා.මම අදටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා ස්තූතිවන්ත වෙනවා මට ඒ කාලේ මාධ්‍ය ආයතනවලින් දීපු ඒ සපෝට් එකට.මොකද තිලිණ රුහුණගේ හදන්න මට උදව් කරපු සියලුම මුද්‍රිත විද්‍යුත් මාධ්‍යවලට මම ස්තුතිවන්ත වෙනවා.මොකද එයාලා නිසා තමයි අද මම මෙතැන ඉන්නේ.ඒත් දැන් නම් තත්ත්වය හුඟක් වෙනස්.මොකද ගොඩක් ආයතන හඳුන්වලා දීලා තියෙනවා පැකේජ් සිස්ටම් එකක්.අපි සෑහෙන මුදලක් දීලා තමයි අපේ ගීතයක් මාධ්‍යයක් හරහා ප්‍රචාරය කරගන්න ඕන.මේ හේතුව නිසා සමහරවිට දක්ෂතා තියෙන බොහෝ අය මුදල් නිසා මේ ක්ෂේත්‍රය අතඇරලා දාන්න පුළුවන්.ලංකාව එක්ක බලනකොට වෙන රටවල් වල එහෙම නැහැ.අනිත් රටවල් වල මියුසීෂියන් කෙනෙක් සිංදුවක් කරාම මාධ්‍ය පස්සෙන් යන්න ඕනෙ නැහැ.ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ගෙ නිර්මාණ ඒගොල්ලන්ගෙ ම platform එහෙකින් එළි දක්වන එක.ඒකෙන් පස්සෙ රටේ තියෙන මාධ්‍ය ආයතනය වලින් ඔහුට ගෙවලා එම ගීත ලබාගන්නවා.සිංදුව ගන්නෙ ප්‍රචාරණ වලට.අදාල කර්තෘභාග ගෙවලා ප්‍රොෆෙෂනල් විදියට.ඒත් ලංකාවේ තත්වය දැන් සෑහෙන්න වෙනස්.
සමහර අවස්ථාවන්වලදී හිරු ආයතනයේ මම වැඩ කරපු නිසාම මගේ සමහර ගීත ප්ලේ වුණේ නෑ.හොඳම උදාහරණය තමයි මේ හිත තනියෙන් ගීතය.ඇත්තටම සිංදුවක් කරාම මුලින්ම දෙන්නෙ අපි වැඩකරන තැනටනෙ.මේ හිත තනියෙන් ගීතය ආත්මා ලියනගේ මහත්මයත් එක්ක මම කරාට පස්සේ මම මුලින්ම ගෙනත් දුන්නේ හිරු එකට.ඉතින් ඒ ගීතය මම බාර දුන්නම රේනෝ සිල්වා මහත්මයා ඒක reject කළා.ඇත්තටම එතුමාට ඒකට අයිතියක් තියෙනවා මොකද ඒක එතුමගේ චැනල් එක.අපි ඇතුලේ වැඩ කළා කියලා අපිට විශේෂ සහනයක් වත් අපිට විශේෂ සැලකිල්ලක් වත් අවශ්‍ය නෑ ඉතිං.ඉතිං මම ගීතය සිරසට දුන්නා.ගීතය මුළින්ම ප්ලේ කරනකොට දවස් දෙකක් යන්නත් කලින් ඒක ලංකාවෙ ම හිට් එකක් වුණා.ලංකාවේ හැම මාධ්‍ය ආයතනයකින්ම ඒක play වුණා.
ආයතන ගත නොවී ස්වාධීනව වැඩ කරන එකේ තියෙන වාසිය මොකද්ද?
ඇත්තටම ස්වාධීනව වැඩ කරන එක වාසියි.මම කොහොමත් හිරු එකට එන කොටම thilina r කියන brand එක හදාගෙන ඉවරයි.මුලින්ම මගේ සිංදුවක් play උනේ y fm එකේ මුලින් අපෙන් කියන වැඩසටහන හරහා.එදා ඒ සිංදුව දෙන්න ගිය වෙලාවේ ලොබී එකේ භාතිය , ඉරාජ්, මම අපි ඔක්කොම එකට ඉඳගෙන හිටියා සින්දු දෙන්න ඇවිත්.ඉතින් මම දකින්නේ භාතිය මම අපි අපි ඔක්කොම එකම කට්ට කාලා තමයි මේ තැන්වලට ඇවිල්ලා තියෙන්නේ.ඇත්තටම හිරු එකට එනකොට මම ඉල්ලීමක් කළා මම පෞද්ගලිකව කරන වැඩ කටයුතු මට කරන්න අවසර දෙන්න කියලා.මට ඒකට අවසරය ලැබුනා.ඒකට මම හිරු ආයතනයට ගොඩක් ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන.මොකද වෙනත් මාධ්‍ය ආයතන වල මේ වගේ අවස්ථා දෙන්නෙ නෑ.
ඇයි දැන් තිළිණ ආයතනගත නොවෙන්නෙ?
ලංකාවේ සිස්ටම් එකේ තියනවා ඕනම බලපෑමකට හරි මොනවට හරි යටත් වෙලා පඩිය නිසා රස්සාව කරනවා කියන දේ.මම සාමාන්‍යයෙන් එහෙම තත්ත්වයකට වැටෙන්න කොහොමත්ම කැමති නෑ.මම නිර්මාණය කරපු සියළුම ගීත හිරු එකට නිර්මාණය කළ ගීත පවා මම කළේ මගේම studio එකේ.අඩුම තරමේ හිරු ආයතනයේ හාෆ් ෂීට් එකක්වත් මම පාවිච්චි කරලා නෑ.මම කාටවත්ම ණය නැත්තෙ මම මගේ වැඩ ඔක්කොම පටන් ගත්තෙ මගේම තැනකින්,මම නිර්මාණයක් කරන කොට පාවිච්චි කළේ මගේම instruments,මගේ libry.මම හදාගත්ත මගේ ප්ලැට්ෆෝම් එක මම ඉදිරියට ගෙනාපු නිසා මට ආයතනගත වෙන්න නැහැ කියලා මට හිතුනා.ඒ නිසා තමයි අදටත් මම බය නැතුව මේ තැන ඉන්නේ.
තිලිණ රුහුණගේ කියන්නේ තාරුණ්‍යයත් එක්ක සංගීතයෙන් ලස්සනට ගනුදෙනු කරන කෙනෙක්.සංගීතය ගැන බලනකොට දැන් තියෙන මේ සංගීත ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම මම අප්ග්‍රේඩ් එකක් දකිනවා.හැබැයි ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ගොඩ යෑමක් කියලා දෙයක් තියෙන්නේ පෞද්ගලිකව තමන් කරන දේවල් වලින්.නමුත් වෙන රටවල් වල එහෙම නෑ.එයාලගේ ඒ ඔක්කොම එකම ලින්ක් එකකින් තමයි වෙන්නේ.දැන් ඉන්දියාවේ එක චිත්‍රපටයක් ගත්තොත් ඒ එක චිත්‍රපටයක් ක්ෂේත්‍ර කීයක් නම් හරහා international market එක අත්පත් කරගන්නවද..සමහර විට ඒ චිත්‍රපටයෙ සෝන්ග් එක artist ගේ පලවෙනිම සෝන්ග් එක වෙන්න පුළුවන්.හැබැයි එක සිංදුවෙන් එයා international artist කෙනෙක්.දැන් අපේ රටේ ෆිල්ම් එකක සිංදුවක් කියන කෙනෙක්ට ඒ තියෙන වටිනාකම ලැබෙන්නේ නෑ.ඒ කියන්නේ අපේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ජාත්‍යන්තරය බලාපොරොත්තු වෙන ප්‍රමිතියේ දේවල් කරන්න යොමු වෙන්නේ නෑ.අදහස් තිබ්බට දක්ෂතාවය තියෙන අය හිටියට ඒ අදහස් එකට එකතු වෙන්නේ නෑ.නර්තනය ගායනය වීඩියෝ එක අදාල සියලුම ක්ෂේත්‍ර වල එකතුවකින් තමයි මේක ඉස්සරහට යන්න ඕන.නමුත් මේ ක්ෂේත්‍රයේ හැමෝගෙම තියෙන්නේ මමත්වයෙන් වැඩ කරනවා කියන එක.සමහර වෙලාවට වටිනාකම් නිසියාකාරව ලැබෙන් නෑ.උදාහරණය තමයි හිරු මාධ්‍ය ජාලයෙන් විකාශය වුණු දිවිතුරා ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කළේ මම.අඩුම තරමේ ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කියලා නම දානවා නම් දුක නෑ.ඒත් එකේ සංගීතය කියන දෙයට කිසිම කෙනෙක්ගෙ නමක් නෑ.ඇත්තටම කලාකරුවෙක්ගේ මානසික මට්ටම රඳා පවතින්නේ ඒ එන අගය කිරීම් එක්ක.මැරිලා මැරිලා ඒ වෙනුවෙන් වැඩ කරලා අඩුම තරමේ යුතුකමක් විදියටවත් නම නැති වෙනකොට ඇත්තටම මට හිතාගන්න බැහැ මොකක්ද වෙන්නේ කියලා.මොනවද මෙයාලගේ ඔළුවේ තියෙන්නේ කියලා මට හිතාගන්නවත් බෑ.දෙයක් සාර්ථක වෙනකොට ටීම් එකේ ඉන්න leadership ගන්න කෙනා විතරක් එලියට ඇවිල්ලා ටීම් එකේ ground level එකේ ඉඳන් උපරිම සහයෝගය දීපු කෙනාගෙ නමක් වත් ගෑවෙන්නේ නෑ.ඒ ගැන ඇත්තටම දුකයි
අපේ රටේ ගොඩක් දක්ෂතා තියෙන අයව යට යන්න හේතුව තමයි අදාල වටිනාකම් ලබා දෙන්නේ නැති එක.මෙච්චර දේවල් වෙලත් ඇත්තටම මම අද මෙහෙම ඉන්න එක ගැන සතුටු වෙනවා.
ඇයි මේ කලාකරුවන්ට නිසි වටිනාකමක් දෙන්නෙ නැත්තෙ?
දැන් බලන්න,මම කවදාවත් කිසිම මාධ්‍ය ආයතනයක් පස්සෙ ගිහිල්ලා නෑ මගෙන් ඉන්ටවිව් එකක් ගන්න අනේ මගේ සිංදුව play කරලා දෙන්න කියලා,මාව ඔයාලගේ වැඩසටහනකට සම්බන්ධ කරගන්න..ඒ වගේ දේවල් කියලා.ඒත් බලන්න සමහර චැට් වැඩසටහන් තියෙනවා හැමදාම ඉන්න එකම සෙට් එකක් තමයි රොටේට් වෙවී හැමදාම එන්නෙ.ටීවී එක බැලුවොත් එකම කීපදෙනා විතරයි ඉන්නේ.මොකද මාධ්‍ය ආයතන වලට පුදාගෙන ඉන්න පිරිසක් ඉන්නවා.ඒ අය තමයි මේ.අපි කවදාවත් ඒ තැනට වැටිලා නෑ.අපේ ගීතයක් වාදනය කිරීමෙන් මාධ්‍ය ආයතන හම්බ කරනවා සහ එයාලට ලැබිය යුතු සියලුම දේ ලැබෙනවා.මම අවංකවම ස්තුතිවන්ත වෙනවා කලාකරුවෙකුට කොන්ද කෙලින් දෙපයින් නැගී සිටින්න සමාජ මාධ්‍ය කියන මේ ප්ලැට්ෆෝම් එක මේ තරම් දියුණු වුණ එක ගැන.ඇත්තටම social-media නිසා මාධ්‍ය ආයතන වලින් එල්ල කරන තාඩන පීඩන වලින් මිදිලා නිදහසේ තමන්ගේ ගමනක් යන්න කලාකරුවන්ට පුළුවන් වෙලා තියෙනවා.ඒක ක්ශේත්‍රයට මාරම වටින දෙයක්.
දැන් රියැලිටි ෂෝ වලින් බිහිවන තරු ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම රියලිටි ෂෝ හොඳයි.නමුත් සැබෑම දක්ෂතාවය තියෙන කෙනා නෙමෙයි ගොඩක් වෙලාවට ඉදිරියට එන්නෙ.සමහර විට මාධ්‍ය ආයතනයට අවශ්‍ය කෙනා හරි එහෙම තමයි දිනන්නෙ.සමහර අය දකින්න පුළුවන් වෙන්නේ ෂෝ එකේදී විතරයි.ඊට පස්සේ ආගිය අතක් නෑ.මේක තනිකරම කරන්නේ මාධ්‍ය විසින්.මොකද ඒ කාල සීමාවෙ දී ඒ මාධ්‍ය ආයතන වලට හම්බ කරගන්න මේවා ඉදිරිපත් කලත් අවසානයේදී ඒ තරගකරුවන් ගැන බලන්නේ නෑ.ඇත්තටම ගොඩක් දක්ෂතා තියෙන perfect සිංදු කියන අය ඒ තරඟ වල ඉන්නවා.ඇත්තටම අපි දකිනවා.ඒත් තරඟෙට ඇවිල්ල ගමේ කඩේට සෙට් වෙන්න පුළුවන් සිංදුව කිව්වොත් එයා තමයි ගායකයා.දක්ෂතාවයට ඉඩන් නෑ.ලංකාවේ හැම ක්ෂේත්‍රයකම වෙලා තියෙන්නෙ මේක. දේශපාලනයේත් එහෙමයි.ඒ කියන්නේ සුදුස්සාට සුදුසු තැන නැති වීම.
අවසාන වශයෙන් තිළිණ රුහුණගේ ගේ ඉදිරි වැඩ වැඩකටයුතු මොනවාද?
ඇත්තටම ඉදිරිය ගැන හිතා ගන්න අමාරුයි.නමුත් අපිට තාම වැඩක් කරගන්න පුළුවන්.ඇත්තටම මම හදපු ගීත තියෙනවා 31 ක් විතර.එයිනුත් 15 ක විතර music videos කරන්නත් තියෙනවා.ඒත් music video එකක් කරගන්න විදිහක් නෑ ටීම් එකක් ගන්න ඒගොල්ලන්ට තෙල් දෙන්න transport දෙන්න ප්‍රශ්න තියෙනවා.ඉතින් හරිම ප්‍රශ්නෙක තමයි ඉන්නේ වීඩියෝස් ටික කරගන්න බැරුව.මෙහෙම දිගටම තිබ්බොත් ඉදිරියේදී videos නැතුව audios ටික හරි රිලීස් කරන්න තමයි හිතන් ඉන්නේ.හිතේ හයිය තියාගෙන බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉදිරිය ගැන.විශේෂයෙන් කියන්න ඕනේ මට මෙච්චර කාලෙකට අත හිත දීපු හැම මාධ්‍ය ආයතනයකටම මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා හිරු මාධ්‍ය ජාලය ඇතුළුව.ඇත්තටම පෙන්නල දුන්නෙ අඩුපාඩු දෝෂාරෝපණ නෙමෙයි.මොකද ක්ෂේත්‍රයක ඉදිරියට යන්න නම් එකමුතුකම ඕනේ අපි ආසයි එහෙම වැඩ කරන්න.ඉදිරියේ වත් එහෙම වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරමු
සංවාදය – සචිනි සත්සරණි