AFC Banner
Empty Ad
Empty Ad

ධම්මික පැණිය අහසින් පොළොවට

මෙරට කොවිඩ් වසංගතය පැතිරුණු දා සිට වගකිවයුත්තන් බහුතරයක් විද්‍යාවට වඩා ප්‍රමුඛත්වය ලබාදුන්නේ අවිද්‍යාවටය. එය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක්පැත්තකින් එල්ල කළ අතුල්පහරක් විය. කොවිඩ් වසංගතය සීඝ්‍රයෙන් පැතිරෙන විට වගකිවයුත්තෝ මුට්ටි ගඟට විසිකළෝය. තවත් අය ශාන්තිකර්ම කළෝය. තවත් අය දේවාල ගානේ ගොස් ආශීර්වාද පැතූහ. එහෙත් ඒ සියල්ල කළත් වසංගතය පාලනය වුණේ නැත. එකවර පැතිරීම ඉහළ ගොස් අද වනවිට 60,000 කට එහා රෝගීන් මෙරටින් වාර්තා වී ඇත.

ඒ කාගේ වරදින්ද? එය පැතිරෙන්නේ දෙවියන්ගේ කෝපය නිසාද? නැත්නම් දෙවියන්ගේ ආශිර්වාදය නැති නිසාද? නැත. මානව සංහතියේ විනාශය මානවයා විසින් ගොඩනගා ගත්තා මිස ඊට අදෘශ්‍යමාන බලවේගයක් හෝ දෙවියන් මැදිහත් වුණේ නැත. ඒ නිසා පිළිපැදිය යුතු සෞඛ්‍ය පුරුදු අත්හැර වෙනත් වෙනත් රැවටීම් පසුපස ගොස් නිරෝගී බව පැතීම කිසිදු තේරුමක් නැති බව ඕනෑම අයකුට මේ වෛරසය හරහා ඉගෙනගත හැකි පාඩමකි.

කෙසේ වෙතත් මුලින් කී පරිදි අපේ රටේ අවිද්‍යාව කරපින්නා ගත් පාලකයන් හේතුවෙන් අවසානයේ රට පුරා වංචාකාරයන්, බොරුකාරයන් එන්න එන්න වැඩිවුණා මිස අඩුවුණේ නැත. එයට හොඳම උදාහරණය සොයාගැනීමට ඔබ කළ යුත්තේ මේ ලිපිය කියවීමෙන් පසුව කොරෝනාවලට බෙහෙත් යනුවෙන් යූටියුබය පරීක්ෂා කිරීමය. ඔබට කොරෝනාවලට බෙහෙත් ගෝනි ගණනින් යූටියුබයෙන් සොයාගත හැක. ඔබ පසුගිය ටිකේ ජ්‍යොතිෂ්‍යවේදීන්ගේ ප්‍රකාශ සොයාගෙන බලන්න. කෙතරම් ග්‍රහ අපල කොරෝනාවලට හේතුවී ඇතිදැයි දැනගත හැක. ඒ තරම් මේ සමාජය අවිද්‍යාවෙන් එන්න එන්න පිරෙමින් තිබේ.

මේ සියල්ල මැද කරළියට පැමිණි අලුත්ම චරිතය වන්නේ ධම්මික බණ්ඩාරය. ධම්මික බණ්ඩාර මෑත කාලයේ ඉතිහාස ගතවන චරිතයක් වී හමාරය. ඒ ඔහුගේ ධම්මික පැණිය නිසාය. රටක් නොව ලොවක් කතාවුණු මේ ධමිමික පැණිය අද වනවිට ප්‍රශ්න ගොඩක ආරම්භයක් වී ඇත. පැණිය මෙන්ම ධම්මිකද රටට ප්‍රශ්නයක් වී ඇත.

ධම්මික බණ්ඩාර යනු වෘත්තියෙන් පෙදරේරුවෙකි. එහෙත් කාලයත් සමඟ ඔහු දේවාලයක් පවත්වාගෙන යන අතර කෑගල්ල ප්‍රදේශයේ පමණක් නොව රටම දැනගන්නේ කාලි දෙවියන්ගේ බලයෙන් වැඩකටයුතු කරන කපුමහතකු ලෙසයි. දෙවියන් කෙසේ වෙතත් අන්ධභක්තිකයන් සහ අවිද්‍යාවෙන් ජීවත්වන්නෝ දහස් ගණනින් ධම්මික බණ්ඩාර කපුමහතාගේ නිවස ඉදිරියේ ගොඩ ගැසුණු නිසා අවසානයේ ධම්මිකට වෙනත්ම ලෝකයක් උරුම විය.

මේ අතර ධම්මික ජනප්‍රිය තලයට පැමිණෙන්නේ පසුගිය ඔක්තෝබර් මුල හරියේදීය. ඒ කොරෝනාවලට පැණියක් සොයාගත් බව පවසමිනි. ධම්මිකගේ මේ පැණිය සඳහා ඇතැම් මාධ්‍ය ලබාදුන් ප්‍රතිචාරය කොපමණද යත් අඩුම තරමින් ප්‍රමාණවත් ගුවන් කාලයක් කොවිඩ් රෝගයෙන් වැළකෙන හැටි කියන්නට වෙන්කළේ නැත.

ධම්මිකත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩිත් මාධ්‍ය හමු පවත්වමින්, මාධ්‍ය ඉදිරියට එමින් මේ සම්බන්ධයෙන් නොයෙකුත් කතා කීහ. එහිදී ධම්මික කියා සිටියේ තමන් වතුපිටිවල රෝහලේ සායනික පරීක්ෂණ සිදුකළ බවත් එහිදී පැණිය සාර්ථක වුණ බවත්ය. ඒ නිසා තමන් සොයාගත් පැණිය ජනතාවට නොමිලේ ලබාදෙන බව ධම්මික කීවේය. ඒ වනවිටත් මේ පැණිය සම්බන්ධයෙන් සහතියක් කිසිදු දේශීය වෛද්‍ය ආයතනකින් ලැබී තිබුණේ නැත. එහෙත් රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු පිරිස එය කරපින්නාගෙන ගියේ ලෝකයේ අලුත්ම සොයා ගැනීමක් ලෙසටය.

ඒ අනුව ධම්මිකගේ පැණිය රාජ්‍ය අමාත්‍යවරයා ජනමාධ්‍ය ඉදිරියේ ලෝකෙට පෙන්වා පානය කළේය. ඒ පළමු සහතිකය විය. දෙවැනියට එය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පෙව්වේය. ඇමතිවරිය එක හැන්දක් කටේ දමාගෙන දිව්‍ය අමෘතය පානය කළා මෙන් ඇස්වලින් ඉඟිපෑවේ රටම වශී කරමිනි. එය රටට පමණක් නොව ලෝකෙටම දුන් සාක්ෂියක් විය. ඒ පැණිය ටොප් කියාය.

කෙසේ වෙතත් මේ සමඟ ධම්මික ගැන කරළියේ කතාබහට අමතරව ඔහුට විරුද්ධ දේශීය වෛද්‍යවරුත්, පාරම්පරික වෛද්‍යවරුත් අවි අමෝරන්නට පටන්ගත්තේ ධම්මිකගේ ගමන් මාර්ගය ගැන ඉඟි වැටුණු නිසාය. ඒ අනුව එම අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රශ්නය වුණේ ධම්ම්කට මෙවැනි පැණියක් හැදීමට ඇති සුදුසුකම මොනවාද යන්නය. එයට හේතුව ධම්මික පාරම්පරික වෛද්‍යවරයකු හෝ දේශීය වෛද්‍යවරයෙක් නොවන බැවිනි. ඒ පැනයට පෙරළා පිළිතුරු ලබාදුන්නේ ධම්මික නොව ආණ්ඩුවේ දේශපාලඥයන්ය.

ඇතැම් දේශපාලනඥයන් කීවේ ලෝකයේ අලුත් දේවල් සොයාගැනීමේන් පසුව මෙලෙස ප්‍රශ්න නොකරන බවය. මේ ආකාරයෙන් ප්‍රශ්න කරන එකම රට ලංකාව බවට ඔවුහු විවේචනය කළෝය. මෙලෙස ධම්මිකට අපහස කරන්නේ ප්‍රශ්න කරන්නේ දේශීයත්වය අගය නොකරන්නන් බවද කීහ. ඔවුන් බහු ජාතික සමාගම් වල රාජ්‍ය නොවන සංවිධාන වල පුද්ගලයන් බව කීවෝය. අවසානයේ ධම්මික පැණිය ගැන ප්‍රශ්න කිරීම වෙනුවට ධම්මිකව ආරක්ෂා කරගනිමින් එසේ ප්‍රශ්න කරන පිරිස්වලට එන්ජීඕ ලේබය ගසනු ලැබීය. එහෙත් ධම්මික සද්දයක් නැත.

මේ අතරතුර ධම්මිකට විමල් වීරවංශ අමාත්‍යවරයාගේ අමාත්‍යංශයෙන් ඇඹරුම් යන්ත්‍රයක් පරිත්‍යාග කෙරිණි. මේ සියල්ල මැද ධම්මිකගේ පැණිය පරීක්ෂා කිරීම දේශීය වෛද්‍ය අමාත්‍යංශයෙන් ආරම්භ විය. ඒ සඳහා ධම්මික පැණිය සකසන ආකාරය නැරඹීමට නිලධාරීන් මඬුල්ලක් කුරුණෑගල නිවෙසට ගොස් රූ එළිවෙනතෙක් නිදිමරාගෙන සිටියෝය.

මේ සියල්ල මැද ධම්මික පැණිය නිල වශයෙන් ආරම්භ කරමින් පැණිත් රුගෙන අනුරාධපුරයේ වන්දනාවේ ගියේය. ඒ ගිය ගමන ධම්මිකගේ ජීවිත කතාව කනපිට හරවන මොහොතක් විය. ධම්මික තමන් රුගෙන ගිය පැණි ජය ශ්‍රීමහා බෝධි මූලයට පූජා කිරීමට අවසර ඉල්ලීය. එහෙත් අටමස්ථානාධිපති හිමියන් ඒ සඳහා අවසර දුන්නේ නැත.ඒ වෙනුවට මැද මලුවට ගොස් එය පූජා කිරීමට අවසර ලබාදුන්නේය. එහෙත් ධම්මිකට අවසානයේ මැද මලුවත් අහිමිව ගොස් පාත මලුවේ එය පූජා කිරීමට සිදුවිය. යකාවැහුණු ධම්මික කෙළින්ම ආවේ අටමස්ථානාධිපති හිමියන් වෙතටය. එතැනදී ධම්මික විශාල ගෝරනාඩුවක් කළේය. තමන් කාලි අම්මා බව කීවේය. අටමස්ථානාධිපති හිමියන් ඉදිරියයේ මම ඔබවහන්සේගේ අම්මා. කාලි. ඇයි මගේ පැණිය විසිකළේ* කියලා විශාල ගෝරනාඩුවක් කළේය.

මේ සිද්ධිය මාධ්‍ය හරහා ප්‍රචාරය වුණ අතර ජනතාවගෙන් බහුතරයකට ධම්මික ගැන තිබෙන විශ්වාසට පළුදු විය. ඒ නිසා ධම්මික විස්වාස කළ බොහෝ අය ධම්මිකව අත් හැර දැමූහ. එහෙත් ධම්මික සටන අත් හැරියේ නැත. ඔහු මාධ්‍ය ඉදිරියේ කීවේ තමන්ට ඒ අවස්ථාවේ කාලි මෑණියන් ආරූඪ වී සිටි බවය. එය තවත් හිනායන කාරණයක් විය.

මේ සියල්ල මැද ධම්මික පැණිය ජනතාවට ලබාදීමට කටයුතු කෙරිණි. ඒ කිසිදු අවසරයකින් තොරවය. ඒ වනවිටත් ධම්මික පැණිය ගැන කිසිදු සහතිකයක් නොතිබිණි. එසේ වුවත් ජනතාව විශාල වශයෙන් පැණිය ගැනීමට පොර කෑවෝය. අවසානයේ එය දිස්ත්‍රික් ලේකම්වරයාගේ මැදිහත් වීම මත අතරමග නවතා දමනු ලැබීය. මේ සියල්ල මැද ඊට පසුදිනත් ජනතාව ධම්මිකගේ නිවස ඉදිරියේ පොරකෑහ. එහෙත් ඊට අවසර නැති නිසා පොලිසියත් ධම්මිකත් පැමිණ පිරිස විසුරුවා හැරියේය. එදා ධම්මික තරමක් කේන්තියෙන් සිටි අතර එක් කාන්තාවක් “ප්ලීස් අප්පච්චි..කාලි සත්‍යමා” කියන්නට ගොස් ධම්මිකගෙන් පෝඩා …පෝඩා… කියා අහගත්තේය.

කෙසේ වෙතත් ධම්මිකගේ මේ නාඩගම එතනින් නතර වූයේ නැත. ධම්මික පැණි බෝතලයකුත් රුගෙන කථානායකවරයා හමුවීමට පාර්ලිමේන්තු ගියේය. එහිදී ධම්මික එහි සිටි පිරිසට කෝප්ප ගණනින් පැණි බොන්නට දුන්නේය. මේ අතර ධම්මිගේ පැණිය විනය කමිටු, අර කමිටු මේ කමිටු වශයෙන් කමිටු රැසක පරීක්ෂණයට යමින් තිබුණේය. පුදුමය නම් ඒ යන සෑම කමිටුවකට යන සැරයක් ගානේ ඊට පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ලබාදීමය. ඒ තරම් ප්‍රචාරයක් ඔක්ස්ෆර්ඩ් වැක්සීනයට හෝ ෆයිසර් වැක්සීනයටවත් නොලැබිණි. එහෙත් මේ ධම්මික පැණිය මත කොරෝනා රෝගය පාලනය කිරීමේ හිනයක සිටි පාලකයනුත්, ජානතාවත් එයින් බිමට ඇද දැමීමට රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කටයුතු කළාය. ඇය පැහැදිලිවම ජනතාවට කියා සිටියේ මෙය පානය නොකරන ලෙසය. එය වගකීම් සහගත ප්‍රකාශයක් වු අතර සැබවින්ම එය මිත්‍යාවෙන් ජනතාව ගලවා ගැනීමේ ඔවදනක් විය. එහෙත් ජනතාවට එය වගේ වගක් වුණේ නැත.

ධම්මික පැණිය වරාය, ගුවන්තොටුපළ රාජකාරි කරන සේවකයෝ ලක්ෂ ගණනින් මුදල් ගෙවා ගෙන්වා පානය කළහ. ඉතාම රහසිගතව එය සිදුවූ අතර ඇතැම් තැන්වල පැණි කාල 2500 ක් විය. ඒ මේ කිසිදු සහතිකයක් නැති කාලි විසින් ලබාදුන් බවට පවසන වට්ටෝරුවකටය. මේ අතර ධම්මික හැමදෙනාගෙම අවධානය දිනා ගැනිමේ අරමුණින් ඒ පැණිය සැදීම අත් හරින බව කීවේය. එය අමූලික බොරුවක් වු අතර ඊට පසුවද ධම්මික පැණිය හැදුවේය.

මේ සියල්ල සිදුවන අතර තුර ධම්මික පැණියේ ප්‍රතිපල ක්‍රමයෙන් එළියට එන්නට විය. කෑගල්ල අවට පැණිය පානය කළ කිහිප දෙනෙකුට කොවිඩ් රෝගය වැළඳී ඇති බව ප්‍රචාරය විය. එහෙත් එය නිල වශයෙන් තහවුරු නොවූ අතර එය කරලියට එන්නේ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු හරහාය. එනම් ඔහු ඇතුළු පවුලේ සියලු දෙනාම නියමිත මාත්‍රාවකට පැණිය පානය කර තිබියදීත් තමන්ට කොවිඩ් වැළඳුනු බව ඔවුහු මාධ්‍යට කීහ. පුදුමය නම් එම ප්‍රවෘත්තිය පළවුණු දිනම සවස පැණිය පානය කළ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මන්ත්‍රීවරයාටද කොවිඩ් ආසාදනය වීමය. ඔහු කථානායකවරයාට පැණිය ලබාදුන් අවස්ථාවේ කෝප්පයෙන් බී අයෙක් විය.

මේ අතර නරකම සිද්ධිය වන්නේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාටය. එනම් ඇයටද කොවිඩ් රෝගය වැළඳීමය. කටේ පැණි හැන්දක් දමා ගනිමින් රටටම සහතික දුන් ඇයටද කොවිඩ් වැළඳීම බොහෝ දෙනාගේ විවේචනය ඇයට එල්ල විය. ඒ ඇය මේ බොරුවට ලබාදුන් ප්‍රචාරය නිසාය. මේ සම්බන්ධයෙන් ඇගේ සැමියා ප්‍රකාශ කර සිටියේ මාධ්‍ය ඉදිරියේ පෙනෙන්නට පැණිය බිව් බවය. එය කෙතරම් වැරදි වැඩක් දැයි අප අමුතුවෙන් කිවයුතු නැත. මාධ්‍ය ඉදිරියේ ජනතාවට පේන්න පමණක් එය පානය කළේ ජනතාව අන්දවන්නදැයි ඔවුන්ගෙන් ඇසිය යුතුය.එය සම්පුර්ණයෙන් වැරදි ක්‍රියාවක් වන අතර ජනතාව මෙලෙස මුළා කිරීම යහපත් දෙයක් වන්නේ නැත. ඒ නිසා අමාත්‍යවරිය මීට වඩා වගකීමෙන් වැඩකළා නම් වටින්නේ යැයි කිවයුතුමය.

කෙසේ වෙතත් ඒ අනුව දිනෙන් දින ධම්මික පැණිය පානය කළ විශාල පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වෙන්න විය. ඒ බව මාධ්‍ය හරහා ප්‍රචාරය වන්නට විය. එහෙත් කනගාටුම කරුණ නම් එම ප්‍රවෘත්ති දිනපතා පළවී තිබියදිත් පසුගියදා නැවත ධම්මික විසින් පැණිය බෙදු අවස්ථවේ ජනතාව පෝලිම් ගැසී එහි සිටීමය.

මේ පැණිය ආහාර රුචිය වඩවන අතිරේකයක් ලෙස අවසර ලබාදුන්නත් එය ධම්මික පිළිගත්තේ නැත. අඩුම තරමින් ගෙදරට පැමිණ ලබාදුන් සහතිකය ධම්මික ගත්තේ නැත. එය ප්‍රතික්ෂේප කළේය. ධම්මික කියන්නේම එයට කොවිඩ් බෙහෙතක් ලෙස අවසර ලබාදෙන ලෙසය. එහෙත් එවැනි නිගමනයක් තවම නැත.ඇස් පනා පිට පැණි බිව් පිරිස රෝගී වනවිට තවත් එයට අවසරයක් ලබාදෙන්නේ කෙසේද යන්න ගැටලුවකි. දුන්නත් පුදුමයක් නැත. ඒ මේ රටේ මීට වඩා දේවල් වන නිසාය. කිතුලට නැගපු එකාටත් කියන්න දෙයක් තියනවා යැයී කතාවට කියන්නා සේ ධම්මික දැන් මේකට හේතු කියයි. ලෙඩේ හැදුණේ නියම මාත්‍රාවට නොබිව් නිසා යැයි කියයි. තවත් අය නොකළ යුතු දේවල් කළ නිසා යැයි කියයි. එහෙත් පුදුමය නම් මේ සියල්ල ඇස් ඉදිරියේ පෙනී තිබියදිත් පැණිය වෙනුවෙන් තවමත් මිනිස්සු පොරකා පැමිණීමය. ඊටත් වඩා ඊ බේහි විකිණීමට පවා දමා ඇත. එය කෙතරම් ලැජ්ජාවක්ද යන්න අමුතුවෙන් කිවයුතු නෑ. ඒ වෙන කිසිවක් නිසා නොව අමු රුවටීමක් නිසාය. එහෙත් ඒ රැවටීම හෝ බොරුව ජනතාව දැන දැනත් තව තවත් රුවටී සිටීම ගැන ඇත්තේ දුකකි. අවසාන වශයෙන් කියන්නට ඇත්තේ මුහුණු පොතේ පළවූ කතාවකි.

ඒ ධම්මිකට කොරෝනා හැදුණත් අපේ උන් පැණි බොන බවය.

ගයාන් ගාල්ලගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?