කොළඹ – මට්ටක්කුලිය රොද්‍රිගූ පෙදෙසේ දේවස්ථානයක පියතුමන්ලා 9 දෙනෙකු ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, මේ වන විට කොළඹ කොටුව, පිටකොටුව ප්‍රදේශ ආශ්‍රිතව ආසාදිතයින් වාර්තා වීම සැළකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි පෙන්වා දෙන්නේ.
බස්නාහිර පළාතෙන් පිටත රෝගීන් වාර්තාවීම කැපී පෙනෙන ලෙස මේ වනවිට ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.
බදුල්ල – පස්සර ජාතික පාසලේ තවත් සිසු සිසුවියන් හතරදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම පාසලෙන් වාර්තා වන ආසාදිත ළමයින් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජාතික නිදහස් දින පෙළපාලියේ ගමන් කිරීම සඳහා තෝරාගත් එම පාසලේ ශිෂ්‍ය භටයින් තුන්දෙනෙකුට පසුගිය 15 වනදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් දෙදෙනෙකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබුණා.
ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයන්ට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලට අනුව මෙම ආසාදිත සිසු සිසුවියන් හඳුනාගෙන ඇති බව සඳහන්.
මේ අතර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ නිදහස් දින පෙළපාලිය සඳහා ශිෂ්‍ය භටයින් සහභාගි කරවීම තුළින් අවදානම් තත්වයක් මතුවිය හැකි බවයි.
එමෙන්ම හැටන් – කුඩාගම ප්‍රදේශයේ පාසලක ඊයේ සිදුවූ හදිසි අනතුරකින් තුවාල ලැබූ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු දික්ඔය මූලික රෝහලට ඇතුළත් කිරීමේදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. මේ අතර අම්බලන්ගොඩ – බටපොළ ප්‍රදේශයේ පාසලක දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකගේ පියා කොරෝනා ආසාදිත බවට හදුනා ගැනීමත් සමඟ අදාළ පාසලේ ගුරුවරුවන්, සිසුන් ඇතුළු ආශ්‍රිතයන්ගේ පවුල් 20ක සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.