මෙරට රාජ්ය ආදායම් රැස් කරනු ලබන ප්රධාන ආයතනයන්හි ප්රතිසංස්කරණ සහ නවීකරණ කාර්යයන්හි ප්රගතිය සම්බන්ධයෙන් ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ (RARMB) නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ප්රගති සමාලෝචන රැස්වීමක්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණා.
මෙහිදී, මෙරට රාජ්ය ආදායම් රැස් කිරීමේ ප්රමුඛතම ආයතන වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් රැස් කිරීමේ කාර්යක්ෂමතාව පිළිබඳව ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන්ගේ ඇගයීමට ලක් වූ අතර, එම ආයතනවල ක්රියාත්මක ප්රතිසංස්කරණ සහ නවීකරණ වැඩපිළිවෙළවල ප්රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
මෙම ආයතන තුන මඟින් මේ දක්වා අත්කරගෙන ඇති ප්රගතිය සහ ඉදිරියේදී ක්රියාත්මක කිරීමට අපේක්ෂිත ප්රතිසංස්කරණ පිළිබඳව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මෙහිදී පැහැදිලි කළා.
එමෙන්ම, අදාළ ආයතනවල අවදානම් කළමනාකරණය (Risk Management) ශක්තිමත් කිරීම, මානව සම්පත් සංවර්ධනය සහ පරිගණක පද්ධති කාර්යක්ෂමව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයෝ මෙහිදී අවධානය යොමු කළා.
ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුක්ගොඩ මහතා සහ ජාත්යන්තර මූල්ය අරමුදල වෙනුවෙන් ආදායම් පරිපාලන ජ්යෙෂ්ඨ ආර්ථික විද්යාඥ (ආසියා සහ ෆැසිපික්, යුරෝපා, මැද පෙරදිග සහ මධ්යම ආසියානු කලාප) සින්ඩි නෙගුස්, ආදායම් පරිපාලන උපදේශකා ඇලිසන් ලිස්ටර්, ශ්රී ලංකාවේ නේවාසික ආදායම් උපදේශක ග්රෙගරි ටොපින් යන මහත්ම මහත්මීන්ද, ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ ජ්යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වුණා.
