තක්සේරු දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සපුරමින් 99 දෙනෙකුට පත්වීම්

රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ පැවති සියලු සහකාර තක්සේරුකරු පුරප්පාඩු සම්පූර්ණ කරමින් නව සහකාර තක්සේරු නිලධාරීන් 99 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්තගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ සිදු කෙරුණා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේපළ කළමනාකරණ හා තක්සේරුකරණ උපාධිධාරීන් වන මෙම නිලධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම කොළඹ තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

ව්‍යවස්ථාපිත හා ව්‍යවස්ථාපිත නොවන කාර්යයන් සඳහා අවශ්‍ය තක්සේරු කටයුතුවලට අදාළ තොරතුරු රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ නිල තක්සේරු වාර්තා සකස් කිරීම මෙම නිලධාරීන්ගේ ප්‍රධාන රාජකාරි අතර වේ. ඊට අමතරව රාජ්‍ය හා පළාත් සභා ආයතන, පළාත් පාලන ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය අනුබද්ධ ආයතන සඳහා තක්සේරු සේවා සැපයීම සහ දේපළ කළමනාකරණය සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම ද ඔවුන්ගේ වගකීම් අතරට අයත්.

පසුගිය වසරේදී නිලධාරීන් 121 දෙනෙකු සහ මේ වසරේදී නිලධාරීන් 99 දෙනෙකු බඳවා ගැනීමත් සමඟ දෙපාර්තමේන්තුවේ පැවති සියලු සහකාර තක්සේරුකරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට හැකි වූ බව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

උත්සව සභාව අමතමින් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත නවක සහකාර තක්සේරු නිලධාරීන් වෙත සිය සුබපැතුම් එක් කළා.

රටේ සංවර්ධන කටයුතු සඳහා තක්සේරුකරණය ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රටේ ආර්ථිකය පරිවර්තනීය මාවතකට යොමු කිරීමේ කාර්යයට නව නිලධාරීන්ගේ දැනුම හා හැකියාවන් උපරිමයෙන් දායක කරගත යුතු බව අවධාරණය කළා.

වත්මන් ආණ්ඩුව මුහුණ දුන් පළමු අභියෝගය වූයේ ආර්ථිකය ස්ථාවර කිරීම බවත්, එම කාර්යය මේ වන විට සාර්ථකව ඉටු කර ඇති අතර ඉදිරි අභියෝගය වන්නේ ආර්ථිකයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ඇති වූ බාහිර කම්පන දෙකකට මුහුණ දෙමින් ආර්ථික ස්ථාවරත්වය අත්පත් කරගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව ද ඔහු පැවසීය. තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවේදී කෙටි කාලයක් තුළ බාහිර කම්පන දෙකකට මුහුණ දෙමින් ආර්ථික ස්ථාවරත්වයට ළඟා වූ රටක් ලෙස ශ්‍රී ලංකාව ඇගයීමට ලක් වූ බව ද අමාත්‍යවරයා සිහිපත් කළා.

වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට පැවති ආර්ථික අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ වුවද, වෘත්තීය සමිතිවල ඉල්ලීමකින් තොරව රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමට කටයුතු කළ බවත්, එම වැටුප් වැඩි කිරීම අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කළ බවත් අමාත්‍යවරයා පැවසුවා.

එහි මීළඟ වැටුප් වැඩිවීම 2027 වසරේදී අද පත්වීම් ලබන සහකාර තක්සේරු නිලධාරීන්ට ද හිමිවන බව සඳහන් කළ අමාත්‍යවරයා, රටේ ආර්ථික පරිවර්තනය සඳහා තම වෘත්තීය දැනුම, කුසලතා සහ කැපවීම යොදා ගන්නා ලෙස නව නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.එන්. හපුගල, අතිරේක ලේකම් ඩී.එච්.එස්. පුල්ලපෙරුම, රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තක්සේරුකරු ඒ.එස්.ඩබ්.කේ. නානායක්කාර, අතිරේක ප්‍රධාන තක්සේරුකරු ක්‍රිස්ටීන් පෙරේරා මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.