සිරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා සිදු කෙරෙන පා ගමනේ පැමිණි පුද්ගලයෙක් හට තවත් අයෙක් විසින් පහරදුන් බවට පවසමින් පූජ්ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි විසින් ඊයේ (14) සමාජ මාධ්ය වෙත වීඩියෝවක් නිකුත්කර තිබුණා.
ඒ අනුව, පොලිසිය විසින් මෙම වීඩියෝ පටය සම්බන්ධයෙන් විමර්ශනයක් අරම්බංහ කර තිබූ අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, මෙම පහරකෑමට ලක් වූ පුද්ගලයා පාගමනට සම්බන්ධ පුද්ගලයෙකු නොවන බවත්, ඔහු පුද්ගලික අවශ්යතාවයක් සඳහා ලොරි රථයකින් ගමන් කරමින් සිටියදී රථවාහන තදබදයක් අතරතුර යතුරුපැදිකරුවෙකු සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීමට ලක්ව ඇති බවටයි.
වීදියවත්ත දේවාලය ඉදිරිපිට දී ඇති වූ රථවාහන තදබදයකදී පහරකෑමට ලක් වූ පුද්ගලයා හා තවත් පුද්ගලයෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාම හේතුවෙන් හෙල්මටයකින් පහරදුන් බවටත් එහිදී හිමි නමක් වීඩියෝ පටයකට සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසූ බවත් පහරකෑමට ලක්වූ පුද්ගලයා ප්රකාශ ලබා දීමේදී සඳහන් කර තිබෙනවා.
ඔහු මේ වන විට වතුපිටිවල රෝහලට ඇතුලත්ව ප්රතිකාර ලබමින් සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ.
පහරදීමට සම්බන්ධ යතුරුපැදිකරුද ගම්පහ රෝහලට ඇතුලත්ව ප්රථිකාර ලබන බව පොලිසිය කියා සිටියා.
මෙම සිදුවීම පාදක කරගනිමින් තිත්තගල්ලේ ආනන්දසිරි හිමි විසින් වීඩියෝ පටයකට පහර කෑමට ලක් වූ පුද්ගලයාගේ තුවාල පෙන්වමින් තමා සමඟ පැමිණි ආධාරකරුවෙකුට පිරිසක් පහරදුන් බවට හුවා දක්වමින් වීඩියෝවක් පටිගත කර සමාජ මාධ්ය වෙත අසත්ය තොරතුරක් මුදාහැර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇති බවද පොලිසිය පවසනවා.
මෙම සමාජ මාධ්යයේ සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් වීරගුල පොලිස් ස්ථානය මඟින් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත අතර මෙවැනි අසත්ය, තහවුරු නොකළ, මහජන නොසන්සුන්තාවයන් හා කැළඹීම් ඇති වන පරිදි මෙලෙස ප්රචාරණයන් පල කිරීම් සම්බන්ධයෙන් ශ්රී ලංකා පොලිසිය දැඩි අවධානය යොමු කර නෛතික ක්රියාමාර්ග ගැනීම සඳහා ක්රියාත්මක වන බවත් පොලිසිය දැනුම් දෙනවා.
