ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ සිවුර ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
එම සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී අග්ග මහා පණ්ඩිත පූජ්‍ය ආචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමියන් විසින් අද (09) මෙම ලිපිය යොමු කර තිබෙනවා.
එම ලිපිය මඟින් කොටපිටියේ රාහුල අනුනායක හිමියන් පෙන්වා දී ඇත්තේ, ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මහාවිහාර වංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමශ්‍රි ධර්ම මහා සංඝසභාවට අයත් භික්ෂුවක් බැවින් උන්වහන්සේගේ සිවුර තබා ගැනීම හෝ ඉවත් කිරිම පිළිබඳව බලය ඇත්තේ උන්වහන්සේලාගේ සංඝසභාවට බවයි.
එසේ තිබියදී, එම සංඝසභාව සහභාගී කර නොගෙන ඊයේ (08) දින නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පිරිසක් සමඟ සාකච්ජාවක් සිදු කරනු ලැබූ පුවත මාධ්‍ය ඔස්සේ දැක උන්වහන්සේලා මවිතයට පත්වූ බවත් උන්වහන්සේ එම ලිපියේ සඳහන් කර තිබෙනවා.
එබැවින් මෙම ගැටළුව පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවට අවශ්‍යව බැවින්, ඥාණසාර හිමියන් නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර උන්වහන්සේලා වෙත දිනයක් සහ වෙලාවක් ලබා දීමට කටයුතු කරන ලෙස එම ලිපියේ සඳහන්.
