දරු තිදෙනාගේ ඇස් ඉදිරිපිට මව අවසන් ගමන් යැවූ පියා අත්අඩංගුවට

නිකවැරටිය පොලිස් වසමේ විද්‍යාර්ථ මාවත ප්‍රදේශයේ නිවසක ඊයේ (14) දින අළුයම කාන්තාවක් මිය ගොස් ඇති බවට නිකවැරටිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකාරිය අවුරුදු 46 ක් වූ නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය සඳහන් කළේ.

මරණකාරිය සැමියා හා තම දරුවන් තිදෙනා සමඟ නිවසේ සිට ඇති අතර මරණකාරිය හා සැමියා අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් යකඩ පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

අපරාධය සිදුකළ අවුරුදු 49 ක් වන සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිකවැරටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.