රුපියල් හාරකෝටි පනස්නව ලක්ෂ විසිහය දහස් නවසිය පනස්හතක් වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් සේවිකාවක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලාංකික පෞද්ගලික ගුවන් සමාගමක ගුවන් සේවිකාවක් අද (04) අලුයම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
කොළඹ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සැකකාර ගුවන් සේවිකාව සේවය කළ ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8.ඩී. 822 දරණ ගුවන් යානයෙන් අද අලුයම් කාලයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
එහිදී ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 163ක් බරැති මෙම ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගය සඟවා ගෙන පැමිණ තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.
සැකකාරිය ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ගුවන් යානා කාර්යය මණ්ඩල සඳහා පිටතට පැමිණීමේ දොරටුවෙන් පිට වී යාමට තැත් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සැකකාර ගුවන් සේවිකාව රඳවා තබාගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනවා.




