AFC Banner
Empty Ad
Empty Ad

උසස් පෙළ විභාගය අද ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022(2023) අද ආරම්භ වනවා.

විභාග මධ්‍යස්ථාන 2200කදී අද සිට ලබන පෙබරවාරි මස 17 වනදා දක්වා දින 22ක් පුරා දක්වා විභාගය පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විභාග අපේක්ෂකයන් 331,709ක් මෙවර විභාගයට පෙනී සිටින අතර පාසල් අයදුම්කරුවන් 278,196ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 53,513ක් ඊට අයත්.

මෙවර උසස් පෙළ විභාගය සඳහා විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් 263 දෙනෙකු ද පෙනී සිටීමට නියමිතයි.

විභාග මධ්‍යස්ථාන සම්බන්ධීකරණය වෙනුවෙන් මධ්‍යස්ථාන 317ක් ස්ථාපිත කර ඇති අතර ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම පිළිතුරු පත්‍ර එක් රැස් කිරීම ඇතුලු කටයුතු ඒ හරහා සිදු කෙරෙනවා.

විභාගයට අවශ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සියලු කටයුතු සැලසුම් කර ඇති අතර ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය කිරීම ද ඇතුලුව සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

උතුරු ප්‍රදේශයේ දූපත් ආශ්‍රිතව ඇති විභාග මධ්‍යස්ථාන වෙත ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය කිරීමට නාවික හමුදාවේ මෙන්ම ගුවන් හමුදාවේ ද ඇතුලු ත්‍රිවිද හමුදා සහාය ද හිමිවන බවයි විභාග කොමසාරිස්වරයා කියාසිටියේ.

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කිසියම් ආපදාවක් සිදුවුවහොත් ඊට අවශ්‍ය පියවර ගැනීමට ද කටයුතු සැලසුම් කර තිබෙනවා.

මේ අතර විභාගය පැවැත්වෙන කාලසීමාව තුල මධ්‍යස්ථාන තුල විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට සහයෝගය ලබාදෙන ලෙසට විදුලිබල මණ්ඩලය මෙන්ම මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඇතුලු අදාළ අංශවලින් විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබෙනවා.

ඊට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ (22) පස්වරුවේ නිවේදනය කළේ අද දිනයේ පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම අත්හිටුවන බවයි. ඒ දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් වශයෙන්.

මේ අතර අදින් ඇරඹෙන විභාගය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ලංකා ගමනාගමන කොමිෂන් සභාව විශේෂ ප්‍රවාහන සැලැස්මක් සකස් කර තිබෙනවා.

ඒ අනුව සිසු සැරිය බස් රථ 1600කට වැඩි සංඛ්‍යාවක් විභාගය පැවැත්වෙන සෑම දිනකම ක්‍රියාත්මක වනු ඇති.

අදාළ දිනවල විශේෂ දුම්රිය ගමන් වාර 16ක් ක්‍රියාවට නංවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙම ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් ගැටලුවක් පවතී නම් බස් රථ පිළිබඳ 1955 සහ දුම්රිය පිළිබඳ 1971 යන ක්ෂණික ඇමතුම් අංකවලට දැනුම්දෙන ලෙසටයි ප්‍රවාහන අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

එමෙන්ම සිසු සැරිය බස්රථ සඳහා QR කේතයට අමතරව තවත් ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය වුවහොත් එම ප්‍රමාණයන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හරහා සැපයීමට ද කටයුතු සූදානම් කර ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් නිලාන් මිරැන්ඩෝ පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?