සෑම වසරකම දෙසැම්බර් 16 වැනිදා පසු වී දින කිහිපයක් ගතවනතුරුම බංග්ලාදේශ වැසියන්ගේ සිත් තුළ පාකිස්තානය පිළිබඳ බියජනක සෙවනැලි හොල්මන් කිරීම වැළක්විය නොහැකිය.
විශේෂයෙන් සිය ජිවිතයේ 05වන දශකය ඉක්ම වූ බොහෝ බංගලි වැසියන්ට නම් එම සෙවනැල්ල තමවත් දිනපතා පෙනෙනවා යන්න අසත්‍යක් නොවේ.
ඒ අන් කිසිවක් නිසා නොව, මීට වසර 51කට පෙර, එනම් 1971 වසරේ දී එවකට බටහිර පකිස්ථානය හෙවත් වර්තමාන පාකිස්ථානය විසින් වත්මන් බංග්ලාදේශය හෙවත් එවකට නැගෙනහිර පාකිස්ථානය ඉතාම ම්ලේච්ඡ අන්දමින් ආක්‍රමණය කර, තිස්දහසකට ආසන්න බංගලි වැසියන් සංඛ්‍යාවක් ඝාතනය කර, තවත් මිලියන 10කට වැඩි පිරිසක් අවතැන් කරවූ ජන සංහාරය හේතුවෙනි.
එදා අන්තර්ජාතික ප්‍රජාවේ සැළකිවයුතු පිරිසකගේ අප්‍රසාදය නොතකා, අසල්වැසි ඉන්දියාව මැදිහත් නොවන්නට අදටද නැගෙනහිර පාකිස්ථානයට, බංග්ලාදේශය ලෙස නොව, නැගෙනහිර පාකිස්ථානය ලෙසම, බටහිරයන්ගේ කෘරත්වයට යටත්ව සිටින්නට සිදුවනු ඇතැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.
ඒ, අනුව, 1971 බංගලාදේශ විමුක්ති අරගලයේ සාර්ථකත්වය සඳහා ඉන්දියාවේ භූමිකාව ප්‍රධාන විය.
එදා පකිස්තාන හමුදා ආක්‍රමණයේ අරමුණ වූයේ නැගෙනහිර පාකිස්තානයේ බෙංගාලි ජාතිකයන් භීතියට පත් කිරීම, දේශපාලන නායකත්වය අත්පත් කරගැනීම, විශේෂයෙන්ම විමුක්තියට පක්ෂ සිසුන් සහ බුද්ධිමතුන් තුරන් කිරීමයි.
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය අවසානයේ ඉන්දියාව සහ පාකිස්ථානය භෞමිකව ඛණ්ඩනය වීමෙන් අනතුරුව පකිස්ථානය නැගෙනහිර සහ බටහිර යනුවෙන් කොටස් දෙකකට බෙදුණු අතර, එම කොටස් දෙක අතර ආසන්නතම ස්ථානයේ භූමියේ දුරස්ථභාවය අවම වශයෙන් සැතපුම් 1300ක් පමණ වේ.
ඉන් අනතුරුව බටහිර පාකිස්ථානයට(වර්තමාන පාකිස්ථානය) අවශ්‍ය වූයේ නැගෙනහිර කොටසේ ජනතාව සිය අණසක දියත්කර මර්දනයේ හස්තය යටතේ තබාගැනීමය.
එහෙත් එය ප්‍රායෝගික නොවීය.
භූමියෙන් මෙන්ම නැගෙනහිරයන් සංස්කෘතිකමය වශයෙන්ද බටහිරයන්ගෙන් සැලකිවයුතු ලෙස දුරස්ථ විය.
එමනිසා, පෙරකී ලෙස නව අදහස් පහල වීම මර්දනය කරමින්, ජනතාව භීතියට පත්කිරීම පාකිස්ථානයේ අරමුණ විය.
1960 ගණන්වල මැද භාගයේදී, බංග්ලාදේශයේ නිර්මාතෘ (සහ වත්මන් අගමැතිනි ෂීක් හසීනාගේ පියා) ලෙසද හැඳින්වෙන ෂෙයික් මුජිබර් රහ්මාන් වැනි නායකයන් බටහිර පාකිස්තානයේ මෙම ප්‍රතිපත්තිවලට එරෙහිව ක්‍රියාකාරීව විරෝධය දැක්වීමට පටන් ගත් අතර අවාමි ලීගය වැනි දේශපාලන ආරම්භ වීමට එම විරෝධාකල්ප බලවේග මුලික විය.
වැඩි කල් නොගොස්ම, ඔවුන්ගේ ඉල්ලීම නිදහස සහ වැඩි ස්වයං පාලනයක් සඳහා වූ එකක් බවට පරිවර්තනය විය.
එහි ප්‍රතිඵලයක් ලෙස,1970 පැවැත්වූ නැගෙනහිර පාකිස්ථාන මැතිවරණයේදී අවාමි ලීගය නැගෙනහිර පකිස්ථානය පාර්ලිමේන්තුවේ ආසන 162 න් 160 ක්ම ජයග්‍රහණය කළ අතර, බටහිර පාකිස්ථානය නියෝජනය කළ දේශපාලන කණ්ඩායම් ආසන කිසිවක් දිනා ගත්තේ නැත.
ඊට සමගාමීව බටහිර පකිස්ථානයේ පාර්ලිමේන්තුව වෙනුවෙන් පැවැති මැතිවරණයේදී ආසන 138 න් 81 ක්ම සුල්ෆිකාර් අලි භූතෝගේ පකිස්ථාන මහජන පක්ෂය දිනා ගත් නමුත් ඔහුට අගමැතිධූරයට පත්වීමට මුජිබර් රහ්මාන්ට සමස්ත පාර්ලිමේන්තුවේ පැහැදිලි සමස්ත බහුතරයක් නිර්මාණය විය.
කෙසේවෙතත්, ජනවරම හඳුනා ගැනීම වෙනුවට, 1971 මාර්තු 25 වන දින, පකිස්ථාන හමුදාව විසින් නැගෙනහිර පාකිස්ථාන බෙංගාලි ජාතිකයන් සමූහ වශයෙන් ඝාතනය කරන ලද කුරිරු මර්දනයක් ආරම්භ කළේය.
මෙම මර්දනය හමුවේ දේශසීමා තරණය කර ඉන්දියාවේ නවාතැන් ගැනීම හැර වෙනත් විකල්පයක් නැගෙනහිර පාකිස්තනුවන්ට තිබුණේ නැත.
එහෙත් 71 අප්‍රේල් මස මුලදී ආරම්භ වූ මෙම සරණාගත ගැටලුවට මුහුණ දීමට ඉන්දීය රජය කිසිසේත්ම සූදානම්ව සිටියේ නැත.
පැරණි පකිස්තාන හමුදාවේ බෙංගාලි කොටස්, ඔවුන්ගේ ආයුධ සහ පතොරම් සමඟ ඉන්දියාවට යන විට, ඉන්දියානු දේශසීමා ආරක්ෂක හමුදාව කුමක් කළයුතුදැයි දැනසිටියේ නැත.
එදා මෙදා තුර ඉන්දියාවට එරෙහිව තුවක්කු පුහුණු කළ බෙංගාලි හමුදාවන් දැන් පාකිස්ථානයට එරෙහිව ඉන්දියාවෙන් පතුරොම් සොයන විට, ඒවා ලබාදිය යුතුද, නැත්නම් ඔවුන් පලවාහැරිය යුතුදැයි ඉන්දීය හමුදාවෝ වික්ෂිප්තව සිටියහ.
සරණ පතා පැමිණි පීඩිත ජනතාව කෙරෙහි අනුකම්පාවේ අඩුවක් නොතිබුණද, සන්නද්ධ කේඩරයන්, විශේෂයෙන්ම වාමාංශික කොටස්වල ගලා ඒම, ඉන්දීය ආණ්ඩුවේ කනස්සල්ලට හේතුවක් විය.
මෙය බටහිර බෙංගාලයේ සහ බිහාර්හි නැක්සලයිට් ව්‍යාපාරයේ නාමයෙන් මහා පරිමාණ සන්නද්ධ කැරැල්ලක් ක්‍රියාත්මක වූ සමයක් බව මතක තබා ගත යුතුය.
ඒ අනුව බංග්ලාදේශ අර්බුදය ඉන්දීය රජය ත්‍රිත්ව අවදානමකට ලක් කරනු ලැබීය.
කෙසේවෙතත් එම සියලුම අවදානම් මධ්‍යයේ අගමැතිනි ඉන්දිරා ගාන්ධි එඩිතර දේශපාලන තීරණයක් ගනිමින් බංග්ලාදේශය පාර්ශ්වයේ සිටගැනීමට තීරණය කළාය.
ඒ අනුව ඉන්දියාවේ සහාය සහිතව 1971 අප්‍රේල් 10 වන දින, බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ තාවකාලික රජය දැන් මුජිබ්නගර් ලෙස හඳුන්වන ප්‍රදේශයේ පිහිටුවන ලදී.
මෙය පකිස්තාන ආක්‍රමණයට එරෙහිව සටන් කරන බංග්ලාදේශ හමුදාවන්ට සියලු ආකාරයේ ආධාර සඳහා දොර විවර කරනු ලැබීය.
මේ අතර, ඉන්දිරා ගාන්ධි බංග්ලාදේශයේ අරමුණ සඳහා සහාය ලබා ගැනීම සඳහා ලෝක නායකයන් සහ අන්තර්ජාතික සංවිධාන වෙත ගියාය.
එහෙත් ඊජිප්තුව, සිරියාව සහ ඉරාකය හැර අනෙකුත් මුස්ලිම් බහුතර රටවල්, පකිස්ථානයට මූල්‍යමය සහ මිලිටරිමය වශයෙන් අඛණ්ඩව සහාය දුන්නේය.
සිය උපායමාර්ගික හේතූන් මත පකිස්ථානයට සක්‍රීය සහයෝගය ලබා දුන් ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය ද එසේම විය.
කෙසේවෙතත් මෙම අවස්ථාවේදී, ඉන්දියාවට ශක්තිමත් සෝවියට් දේශයේ සහාය විශේෂ වාසියක් විය.
ඉන්දියාව බංග්ලාදේශය වෙනුවෙන් සිටගත්තද, කිසිඳු අවස්ථාවක පාකිස්ථානයට එරෙහිව පළමු වෙඩි මුරය පත්තු නොකළේය.
1971 මාර්තු 25 සිට 71 දෙසැම්බර් 03-04 දක්වා ඉන්දියාව සහ පකිස්තානය අතර පූර්ණ පරිමාණ යුද්ධයක් ආරම්භ වන තෙක්, සාමකාමී සාකච්ඡා විසඳුමක් සඳහා විකල්පය විවෘතව තැබීමට ඉන්දියාව පියවර ගනු ලැබුවේය.
එහෙත් පාකිස්තානයේ ජනාධිපති යාහ්යා ඛාන් කිසිඳු විකල්ප සාමකාමී විසඳුමකට එකඟවීම තරයේ ප්‍රතික්ෂේප කළේය.
ඉන් අනතුරුව සිය පරාජිත යුද්ධයේ පළමු වෙඩි පහර නිකුත් කරමින් පාකිස්ථාන ගුවන් යානා ඉන්දියාවේ ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කරනු ලැබීය.
කෙසේවෙතත් පාකිස්ථානයට සිය අත්තනෝමතික ප්‍රහාර දින කිහිපයකට වඩා පවත්වාගෙන යෑමට නොහැකි විය.
ප්‍රබල ඉන්දීය ත්‍රිවිධ හමුදාවන් මධ්‍යයේ 1971 දෙසැම්බර් 16 වැනිදා පාකිස්ථානය සිය පරාජය පිළිගත් අතර, බංග්ලාදේශයට පුර්ණ පරිමාන නිදහසකට මාර්ගය පාදමින් යුද්ධය අවසන් විය.
ඉන්දියානු-නැගෙනහිර පාකිස්ථාන පාර්ශ්වය මෙම යුද්ධයේදී ජයග්‍රහණය කළද, බෙංගාලි වැසියන් මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් සහ එම වැසියන් ආරක්ෂා කිරීමට සටන් කළ ඉන්දියානු සොල්දාදුවන්, නාවිකයන් සහ ගුවන් භටයින් 3000 කට ආසන්න පිරිසක් සිය ජීවිත පරිත්‍යාග කළහ.
අද බංග්ලාදේශය මෙන්ම ඉන්දියාවද සෑම වසරකම දෙසැම්බර් 16 වැනිදා සමරනු ලබන්නේ නිවහල් සිතුවිලි සහිතව සිටි ජනතාවකගේ නිදහස් රාජ්‍යයක් පිළිබඳව වූ සිහිනය සැබෑවීමේ අවස්ථාවයි.
එසේම එම විමුක්ති අරගලය වෙනුවෙන් සටන් කළ සහ පාකිස්තානයේ කුරිරු ප්‍රහාර හමුවේ මරණයට පත්වූ නිරායුධ වැසියන්ගේ ජීවිතවල වටිනාකමයි.
අද දක්වා ද අන්තර්ජාතික ප්‍රජාවේ ඇතැම් කොටස් විසින් මෙම පාකිස්ථාන ජන සංහාරය, ත්‍රස්තවාදයක් ලෙස පිළිනොගත්ත ද, මේ වන විට එය ලොව සෑම ඉතිහාසගතවන වාර්තාවකටම එක්වී ඇත්තේ පැහැදිලිවම පාකිස්තානයේ කුරිරු හැසිරීම් පිළිබඳ ලැයිස්තුවට එක් වූ බරපතලම කළු පැල්ලම ලෙසිනි.




