කාන්තා ලිංගික අඩත්තේට්ටම් සහ ලිංගික අල්ලස් වරදට දැඩි දඩුවම් ලබාදෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.
කාන්තාවන්ගේ නිදහස සහ සුරක්ෂිතභාවය සැලකිල්ලට ගෙන අධිකරණ අමාත්‍යාංශය දණ්ඩ නීති සංග්‍රහයේ 345 සංශෝධනයට ලක් කරමින් එකී වරද සාපරාධී වරදක් ලෙස නම් කර දැඩි දඩුවම් ලබා දීම පිණිස නීති කෙටුම්පත් කිරීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට පසුගිය දා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇතැයි අධිකරණ අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලාංකේය ජන සමාජයේ දීර්ඝ කාලයක් තිස්සේ මහජන ගැටලුවක් ලෙස සංවාදයට ලක් වූ කාන්තාවන්ට එරෙහිව සිදු කෙරෙන ලිංගික අඩත්තේට්ටම් සහ ලිංගික අල්ලස් පිළිබඳව දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය යටතේ මෙතෙක් අපරාධ වරදක් ලෙස සැලකුව ද, එකී වරද දිගින් දිගටම සිදු වෙමින් පැවැතීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
කාන්තා අයිතිවාසිකම් පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා කාන්තා ප්රඥප්තියෙන් ද කාන්තාවගේ නිදහස හා අයිතිවාසිකම් සුරක්ෂිත කර, ස්ත්‍රී පුරුෂ සමාජභාවය ශක්තිමත් කිරීම සඳහා රජයක් ලෙස පියවර ගණනාවක් ගෙන ඇත.










