2027 වසරේ සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව ප්‍රකාශයට පත්කෙරේ

2027 වර්ෂය සඳහාවන සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, අනුව 2027 වසරේ අලුත් අවුරුදු උදාව අප්‍රේල් 14 වන බදාදා අපරභාග 03.29ට සිදුවනවා.

මෙම නැකත් සීට්ටුවට අනුව පුණ්‍ය කාලය අප්‍රේල් 14 වන බදාදා පූර්වභාග 9.05 සිට එදින අපරභාග 9.53 දක්වා යෙදී තිබෙනවා.

නව වසරේ ආහාර පිසීමේ නැකත අප්‍රේල් 14 මස වන බදාදා අපරභාග 6.18ට දී ඇති අතර, කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා මුං මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් පිළියෙල කිරීම මැනවි බවයි එම නැකැත් සීට්ටුවේ දැක්වෙන්නේ.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත අප්‍රේල් 14 වන බදාදා අපරභාග 8.18ට උතුරු දිශාව බලා ඉටු කිරීම සුබ බවයි එහි දක්වා ඇත්තේ.

නව වසරේ හිසතෙල් ගෑම, අප්‍රේල් 17 වන සෙනසුරාදා පූර්වභාග 07.04 ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට නුගපත් ද පයට කරඳපත් ද තබා ස්නානය කිරීම සුදුසු බව නැකත් සීට්ටුවේ සඳහන්.

2027 අලුත් අවුරුදු නැකත් සීට්ටුවට අනුව රැකීරක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත දී ඇත්තේ අප්‍රේල් මස 21 වන බදාදා පූර්වභාග 06.15 ටයි.

කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී මුංඇට මිශ්‍ර කිරිබතක් අනුභව කර දකුණු දිශාව බලා රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම සුදුසු බවයි අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන්.

6